බණ්ඩා කොණ්ඩේ කැපූ හැටි

බණ්ඩා වයස අවුරුදු 15 පමණ සිට කොණ්ඩය කපන්නේ තාරක අයියාගේ සැලූන් එකෙන්ය.

ඒ තාරක අයියාගේ කොණ්ඩේ කැපිල්ලේ ඇති සිරා බවක් නිසා නෙමේය.

ගෙදරට ළඟම සැලූන් එකේ කොණ්ඩේ කපන එකා චීත්තයකි. කොණ්ඩේ කපන්න එන උන්ගේ ජාතකේ ගැන තොරතුරු එක්රැස් කිරීමය උගේ විනෝදාංශය. කොණ්ඩේ කපන්නට එන උන්ගේ ජාතකේ ගැන ඕපාදූප ප්‍රශ්න උන්ගේ මූණටම අසයි. උන්ගේ විස්තර, උන්ගේ පවුලේ විස්තර, නෑදෑ උන්ගේ විස්තර අසයි. අනුන්ගේ ජීවිත ගැන අප්ඩේට් වීමට ඌට ඇත්තේ පුදුම ආසාවක්ය. ඌ ජොබ් එක විදිහට කොණ්ඩේ කපන එක තෝරගෙන තියෙන්නේම ගමේ උන්ගේ ඕපාදූප හොයන්න වෙන්නැති කියා වෙලාවකට බණ්ඩාට සිතෙන්නේය.

අනුන්ගේ ජීවිත ගැන ඕපාදූප හොයන උන්ව බණ්ඩාට පෙන්නන්න බැරිය. නයාට අඳු කොළ පෙන්නන්න බැරි තරමටත් වඩා පෙන්නන්න බැරිය. කවුරු හරි නැති තැන වෙන කෙනෙක් එක්ක ඌ ගැන ඕපාදූප කියවීම එකකි. අදාල පුද්ගලයාගේ මූණටම උගේ පුද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න අහන එක තවත් එකකි.

ඉඳහිට හම්බෙන මනුස්සයෙක් එක්ක කතා කරන්නේ කෝමදැයි මුං දන්නේ නැත. “අද හරිම වැස්ස නේද?, මේ ටිකේ මාර පෑවිල්ලක් නේද?” වගේ small talk එකකින් කතාව අහවර කරලා තමාගේ වැඩක් බලා ගැනීමේ පුරුද්දක් මුං බොහෝමයකට නැත. සුහදත්වය පෙන්නනේත් අනුන්ගේ අධෝ මුඛයේ ඇඟිලි ගැසීමෙනි.

ඒ බණ්ඩා නොයන සැලූන් අංක 01 ය. බණ්ඩා නොයන සැලූන් අංක 02 තියෙන්නේ හන්දියේය.

හන්දියේ ඇති සැලූන් එකට නොයාමට හේතුව එතන ඉන්න උන් කොණ්ඩේ කපනවාට වඩා වැඩි වැඩ දාන්න හදන නිසාය.

“මල්ලි, ඔයාගේ මේ ඇහැ උඩ ඉන්නෙක් නේද? කම්මුලේ මෙන්න මෙතනත් ඉන්නෙක්. ඕක ලොකු වෙන්න කලියෙන් මොනා හරි කලා නම් හොඳයි. පොඩි clean up එකක් දා ගත්ත නම් හරි. නැත්නම් එන්න එන්නම ලොකු වෙනවා ඕක”

බණ්ඩාගේ ඇහැ උඩ ඉන්නවා කියලා ඒ අයියා කියනා ඉන්නා අද වන තුරු බණ්ඩා දැක නැත. ඒ ඉන්නා ඒ අයියාට විතරක් පෙනෙනා ඉන්නෙකි. නාථ දෙවියන්ව පේන්නේ සිල්වා ගොයියාට විතරක් වගේ ඒ ඉන්නා පේන්නේ ඒ අයියාට විතරක්මය.

කාටවත්ම නොපිනී සිට නලින්ද සිල්වාට සප් එකට විතරක් පැමිණෙන නාථ දෙවියන්ව බණ්ඩාට අල්ලන්නේ නැත. කාටවත් නොපෙනෙන දෙයියෙක් ගැන දෙසනා සිල්වා ගොයියාව අල්ලන්නේත් නැත. සැලූන් අයියාගේ මඩිය තරකර ගන්නම ඌට විතරක්ම පේන්න එන ඉන්නාව අල්ලන්නේත් නැත. නලින් ගොයියාට තරම්ම ඔලුවේ අමාරු ගතියක් නොපෙන්නුවත් කාටවත්ම නොපෙනෙන ඉන්නෙක් පෙන්නා බණ්ඩාගේ තුට්ටු දෙකට කෙළින්න හදනා සැලූන් අයියාව අල්ලන්නේත් නැත.

බණ්ඩා සැලූන් එකට යැමේ අරමුණ කොණ්ඩය කපා ගැනීම මිස වෙන මගුලක් නොවේය. ඒ බව උන්දෑට තේරෙන්නේ නැත.

එනිසා බණ්ඩා ඒ සැලූන් එකට යන්නේද නැත.

ඒ අතින් ගත්තාම තාරක අයියා සයිලන්ස් බුවෙකි. වැඩි වැඩ නැත. කොණ්ඩය කපා ගාණ ගනියි. බණ්ඩා කොණ්ඩේ කපාගෙන නිවී සැනසිල්ලේ ගෙදර එයි.

එනිසා බණ්ඩා යන්නේ තාරක අයියාගේ සැලූන් එකටය.

මුල් කාලයේ තාරක අයියාට තිබුණේ ‘සැලූන්’ එකක් වූ අතර තාරක අයියා බාබර් කෙනෙක් විය.

කාලයාගේ ඇවෑමෙන් තාරක අයියාගේ සැලූන් එක සැලෝන් එකක් බවට පත්වී තාරක අයියා බාබර් කෙනෙකු ගේ සිට hair dresser කෙනෙකු බවට පත් වී ඇත.

ඉස්සර සැලූන් එකේ තිබුනේ ලෑලි පුටු දෙකක් සහ පොඩි කණ්ණාඩි කෑලි දෙකක් විතරය. සැලූන් එක ඇතුළ පෝරනුව වගේ නිසා දොර බොහෝ විට තිබුනේ ඇරලාය. පොඩ්ඩක් හරි දාඩිය නිමෙන්නට තිබුනේ ඔරලෝසුවේ තත්පර කටුවටත් වඩා සෙමින් කැරකෙන කබල් ෆෑන් එකකි.

ඒ තාරක බාබර් ගේ සැලූන් එකය. දැන් තියෙන්නේ තාරක hair dresser ගේ සැලෝන් එකය.

දැන් සැලෝන් එක තියෙන තැන මාරු කරලාය. A/C කරලාය. පුටුවේ ඉඳගත්තාම නින්ද යනවාය. කොණ්ඩේ කපන්න කලින් ලොකූ කළු පාට රෙද්දක් ඇඟට දමනවාය. ඇඟේ එකම කොණ්ඩ ගහක්වත් හැලෙන්නේ නැත. බෙල්ල වටේ ටිෂූ එකක් දමනවාය. තාරක අයියා කාලයාගේ ඈවෑමෙන් දියුණු වෙලාය. විසිඑක් වෙනි සියවසට අනුගත වෙලාය.

විසිඑක්වෙනි සියවසට අනුව අය කරන ගාස්තුවද වෙනස් වෙලාය. ඒ කියන්නේ ගාස්තුව වැඩි වෙලාය. කොණ්ඩේ කැපිල්ල ඉස්සර වගේම උනාට ගාස්තුව දැන් ඉස්සරට වඩා සෑහෙන වැඩිය.

කෝමෙන් කෝම හරි මේ ළඟදි දවසකත් සුපුරුදු පරිදි බණ්ඩා ‘සැලෝන්’ එකට ගියේ කොණ්ඩය කපා ගන්නටය.

බණ්ඩා යද්දි සැලෝන් එක ඇතුලේ එක්කෙනෙක් සිටි නිසා එතන තිබූ ‘සැටියේ’ වාඩිවී පත්තරයක් දිග ඇරගත්තේය. විනාඩි දෙකකට පමණ පසු තවත් පොරක් ආවේය. ඌද පත්තරයක් දිග ඇරගත්තේය.

ටික වේලාවකට පසු ඇතුළේ සිටි කෙනා කොණ්ඩේ කපා අහවර වී එළියට ආවේය. බණ්ඩා ඇතුළට යන්න ලක ලෑස්ති වෙද්දීම එකපාර එළියට ආපු තාරක අයියාගේ දත් තිස් දෙකම එළියට පැන්නේය.

ඒ බණ්ඩාට පසු කොණ්ඩය කැපීමට පැමිණි පොර’ව දැකීමෙනි.

ශුවර් එකෙන්ම ඌ කාගේ හරි පුතෙක් වෙන්ටැති කියා බණ්ඩාට සිතුනි (මේක කියෝන උඹයි මේක ලියන මමයිත් කාගේ හරි පුත්තු තමා)

“පොඩි වැඩක් තියෙන්නේ. වැඩිය වෙලා යන්නේ නෑ. මෙයාගේ කපලා ඉන්නද?”

එක පාරම තාරක භයියා බණ්ඩාගෙන් ඇසුවේ අහස පොළව නුහුලන ප්‍රශ්නයකි.

පෝළිමක යාම සහ පෝළිමේ පිළිවෙලට භාර ගැනීමට තරම් හික්මීමක් නැති කම බණ්ඩාට පෙන්නන්නම බැරි නැහැදිච්චම හැසිරීමකි. ශිෂ්ඨ සමාජයක ජීවත් වෙන මනුස්සයෙකු විදිහට තියෙන්න ඕන සරලම ගුණාංගයක් ඔහු සතුව නැති බව තාරක භයියා අද ඔප්පු කල පෙන්වීය.

ඊටත් වඩා ඔහුගේ සේවය ලබා ගන්නට පැමිණි පාරිබෝගිකයෙක්ගේ සරල අයිතියක් සේවාදායකයා ලෙස ඔහු අමු අමුවේ උල්ලංඝනය කලේය.

“පෝළිමේ ඒම සහ භාර ගැනීම”

බණ්ඩාට හදිසියේ විදෙස් ගත වෙන්න සිද්ද වුන වෙලාවක ගුවන්තොටුපලේදී ඔහු දුටු දසුනක් සිහියට නැඟේ.

සුද්දෝ සෙට් එකක් පිළිවෙලින් එකා පසුපස එකා ලෙස සංවර ලෙස ගමන් කරයි. අපේ මිනිස්සු ටිකක් මහා කලබලෙන් ට්‍රොලි තල්ලු කරගෙන, ට්‍රොලි හප්පගෙන අනිත් එකාගෙන් ඉස්සරහට පනින්න දතකමින් පොරකයි. සුද්දන්ගෙන් බොහෝමයක් හිටියේ three quarter කලිසම් ඇඳගෙනය. සුද්දියෝ බොහෝමයක් හිටියේ කොටම කොට ඇඳුම් කෑලි ඇඳගෙනය. උන් එහෙම ඉද්දි අපේ මිනිස්සු හිටියේ ඇඳුමෙන් පැළඳුමෙන් බොහෝම සංවරව විලි වැසෙන සේ ඇඳගෙනය.

සුද්දෝ ඇඳුම් කෑලි ඇඳගෙන පිළිවෙලින් පෝලිමේ යති.
අපේ උන් විලි වැසෙන සේ ඇඳගෙන පොරකති.

බණ්ඩාට එදා හිතුනේ පිළිවෙලින් පෝලිමක යන්න දන්නේ නැති අපේ සදාචාරය තියෙන්නේ රෙද්ද අස්සේ විතරද කියන එකය.

පෝළිමක යන්න දන්නේ නැති උන් බහුතරයක් ඉන්න සමාජයක් එක්ක බණ්ඩා වගේ උන් ගැටෙන්නේ සෑහෙන අමාරුවෙන්ය.

වයස අවුරුදු 15 සිට කොණ්ඩය කැපීමේ ජොබ් එකෙන් බණ්ඩාට සේවය ලබා දුන් සේවා දායකයාව ඒ මොහොතේ සේවයෙන් නෙරපනු ලැබීය.

තෝ ඕන එකෙක්ගේ කොණ්ඩේ කපාගනිං, කියා හිතෙන් බැණ බැණ වැඩට ගෙනියන බෑගයද කරේ දාගත් බණ්ඩා ආයේ පාරට බැස්සේ හන්දිය ළඟ සැලූන් එකේ නලින්ද සිල්… සමාවන්න.. හන්දිය ළඟ සැලූන් එකේ කාටවත් නොපෙනෙන ඉන්නෝ පෙනෙනා බුවා ගෙන් කොණ්ඩේ කපා ගැනීමටය

Advertisements

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s