බන්දු සමරසිංහ – තොට දැන් හිමි දඬුකඳ ය

බන්දු සමරසිංහ විසින් කෙරුන පැමිණිල්ලකට අනුව බින්දු බෝතලේගම නම් වූ පුද්ගලයෙක්ව අත් අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කොට ඇත. ඔහුට එල්ලවී ඇති චෝදනාව නම් බන්දු සමරසිංහගේ අවසරයකින් තොරව ඔහුව අනුකරණය කරමින් සී.ඩී තැටි විකිණීම සහ රංගන කටයුතු වල යෙදීමය.

ඇප ලබාගෙන උසාවියෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ බින්දු බෝතලේගම පවසා සිටියේ බන්දු සමරසිංහ විසින් ඔහුව අනුගමනය කිරීමේ වරදට තමාට නඩු දමා ඇති බවත් ගරු මහේස්ත්‍රාත් වරයා විසින් තමාට ඇප ලබා දුන් බවත් ඔහු එහෙම කොල්ලෙක් නොවන බවත් ඔහු අහිංසක කොල්ලෙක් බවත් මේ ඔහු ඉපදිච්ච හැටි බවත් මේ ඔහුගේ මුහුණේ පිහිටීම බවත් ඒකට ඔහුට කරන්නට දෙයක් නැති බවත්ය. අවසානයේ මම මැරෙන්නද කියා ඇසූ ඔහු තමා දිගටම රඟපෑම් කටයුතු වල නියැලෙන බවත් පැවසීය.

සුපුරුදු පරිදි මෙම සිද්ධියද ලාංකීය ගොසිප් වෙබ් අඩවි වල මෙන්ම සයිබර් සාකච්ඡා මණ්ඩප වලද කතා බහට ලක් විය.

එහිදී අදහස් පලකල සමාජ-විද්‍යාත්මක, දේශපාලන විචාරකයින්ට අනුව බන්දු සමරසිංහ විසින් කොට ඇත්තේ සහගහන අපරාධයකි. ඔවුන්ට අනුව චූදිතයා බින්දු නොව බන්දුය. තම ජීවිකාව වන රඟපෑමේ වෘතිය කරගෙන යාමට තමා විසින් දශක ගණනක් මුළුල්ලේ ගොඬනඟා ගත් තම අනන්‍යතාවය වෙනකකු විසින් තමාගේ අවසරයකින් තොරව මුදල් ඉපැයීම සඳහා යොදා ගැනීම සම්බන්ධව තමාගේ රටේ නීතිය ඉදිරියට යාමය, බන්දු ගේ වරද.

ඔවුන්ට අනුව බන්දු බඩගෝස්තරවාදියෙකි, කුහකයෙකි, ඉරිසියාකාර ආත්මාර්තකාමී මිනිහෙකි, අහිංසකයෙක් ඉදිරියට එද්දි කකුලෙන් අදින ජාතියක් ජම්මයක් නැති පාහරයෙකි.

ඔවුන් බන්දුගෙන්,

මේ අහිංසකයාට නඩු දාලා බලාපොරොත්තු වුනේ මොකක්ද කියා අසයි.
දැන් අවුරුදු ගානක් තිස්සේ හම්බ කරගත්ත ඒවා මදිද කියා අසයි.
අලුත් කෙනෙක් නැගිටිද්දි ඉවසන්න බැරි ඇයි කියා අසයි
බන්දුට ඇයි සුනිල් පෙරේරා වගේ වෙන්න බැරි කියා අසයි.
අහිංසක කොල්ලෙක් ජනප්‍රිය වෙද්දි බන්දු බය වෙලා කියයි.
බන්දු කලේ තකතීරු වැඩක් කියයි
බන්දුට ගුත්තිලය කියා දෙන්නට හදයි.

ඔවුන් බින්දුට සුභ පතයි. බන්දුට ශාප කරයි.

කීබෝර්ඩ් එකෙන් ආණ්ඩු පෙරලූ බව කියා ගන්නා මොවුන් බුද්ධිමය දේපල මංකොල්ලකෑම පිළිබඳ අසාවත් තිබේද යන්න ගැටලුවකි.

කෙටියෙන් සඳහන් කරනවා නම්, කිසියම් ශාස්ත්‍රීය, කලාත්මක, විද්‍යාත්මක කෘතියක හෝ සෞන්දර්‍ය නිර්මාණයක අයිතිය එහි නිර්මාණ කරුට හිමිවේ. එම නිර්මාණයක් ප්‍රතිනිර්මාණය කිරීම, පරිවර්තනය කිරීම, විකිණීම, කුලියට දීම එම අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙස සඳහන් වේ.

බ්ලොග්කරුගේ අදහස නම් යම් කලාකරුවෙක් තමාට අනන්‍ය වූ අනන්‍යතාවක් තමාගේ රංගනය සඳහා යොදාගනියි නම් එම අනන්‍යතාවයටද ඔහු අයිතිවාසකම් දරණ බවයි. ගීත රචකයෙක් හෝ කතුවරයෙක් හෝ ගායකයෙක් හෝ දරණ එම අයිතිවාසකම ඔහුටද හිමි බවයි. නීතියට අනුව බිංදුගේ හරිවැරැද්ද තීරණය කිරීම තමා සතු කාර්‍යක් නොවන බව බ්ලොග්කරු පිළිගනියි. නමුත් මෙහිදී බ්ලොග්කරුගේ අරමුණ ජන සමාජය මේ ගැන දරණ මතය ගැන කෙටි අදහසක් ඉදිරිපත් කිරීමය.

බන්දු සහ බිංදු මුල් වූ අදාල සිද්ධිය ගැන සාකච්ඡා කිරීමට ගොසිප් අඩවි කිහිපයක සඳහන් වූ කරුණු සහ බිංදු විසින් මාධ්‍යට ලබා දුන් වොයිස් කට් එක හැර වෙනත් මූලාශ්‍ර නැත. බ්ලොග්කරු දන්නා අන්දමට බන්දු මේ ගැන මෙතෙක් විවෘත අදහස් දැක්වීමක් කර නැත. එනමුත් මේ ගැන යම් අදහසක් ලබා ගැනීමට දැනට දක්නට ඇති කරුණු පමණක් සලකා බැලීමම ප්‍රමාණවත් බව බ්ලොග්කරුගේ අදහසය.

කීබෝර්ඩ් එකෙන් ආණ්ඩු පෙරලූ උත්තමයන් පවසන අන්දමට බිංදු යනු අහිංසක දුප්පත් කොල්ලෙකි. අනුකරණය සහ අනුගමනය යන වචන දෙකේ තේරුම පවා නොදන්නා හයක් හතරක් නොතේරෙන බබෙකි. බිංදුට අනුව ඔහු චෝදනාවට ලක් වී ඇත්තේ ඔහුගේ උපන් හැටි බන්දු වගේ වීම නිසාය. ඔහු විසින් මම මැරෙන්නද කියා අසන්නේ ඒ පදනමේ සිටය. ඔහු කතා කරන්නේ තමාගේ හැඩහුරුකම සහ කතා විලාශය බන්දු සමරසිංහ හා සමාන වීම නිසා කඩේ ගොස් පාන් රැගෙන එද්දි බන්දු විසින් ඔහුව දැක පොලිසියට දුව ගොස් ‘අන්න අතන මං වගේම එකෙක් ඉන්නවා. ඌව අල්ලන් වරෙන්’ කියා පැමිණිලි කල විලාශයෙනි.

බිංදු විසින් සිදුකලා යැයි කියන වංචාව ගැන කිසිවෙක් සඳහන් කරන්නේ නැත. බන්දු සමරසිංහව අනුකරණය කොට සී.ඩී ගසා අලෙවි කලා කියන්නේ ඇත්තක්ද? ඇත්තක් නම් එසේ කිරීම වරදක් නෙමේද කියා වොයිස් කට් එක ගන්නා මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන්නේද නැත.

මන්ද මෙහි බිංදු නියෝජනය කරන්නේ පීඩිතයාගේ භූමිකාව නිසාය. ඔහු කිසිදෙයක් දන්නේ නැත. සිනාමුසු මුහුණෙන් ඔලුව කසමින් සිටින අහිංසකයෙක්ය. කතා කරන්නේ අත්දෙක වැඳගෙනය. ඔහු දුප්පත්ය. අහිංසකය. අනේ පව් ය.

බන්දු නමගිය කලාකාරයෙක්ය. සල්ලිකාරයෙක්ය. ලක්ෂ ගණන් ආදායම් ලැබූ චිත්‍රපට වල රඟපාපු නලුවෙක්ය. ලොකු ලොකු සාද වලට සහභාගි වෙන කෙනෙක්ය. ඔහු යන්නේ වාහන වලින්ය. අඳින්නේ ඩෙනිම් ජැකට් ය.

එනිසා ඔහු විසින් මේ දුප්පත් කොල්ලාට නඩු දැමීම කුජීතය.

මෙතන ඇති හරුපය තේරුම් ගැනීමට රොකට් සයන්ස් පිළිබඳ දැනුම අවශ්‍ය වේ යැයි නොසිතමි. මෙතන ඇත්තේ දුප්පත් පීඩිතයා වෙනුවෙන් පෝසත් පීඩකයාට එරෙහිවීමේ මානසිකත්වයය. චිත්‍රපටයේදී දුප්පත් පෙම්වතාට සහය දෙමින් පෝසත් දුෂ්ඨයාට වෛරකරන මානසිකත්වය ය. ගැටලුව නම් කොල්ලා සහ දුෂ්ඨයා යන වචන ඉදිරියට ‘දුප්පත් සහ පෝසත්’ යන විශේෂණ පද යෙදී තිබීමය. දුප්පත් නම් කොල්ලාය, පෝසත් නම් දුෂ්ඨයාය.

බන්දු සමරසිංහ අද සිටින තත්වයට පැමිණියේ කොහේ කුමන තත්වයේ සිටද යන කාරණය කිසිවෙකුට වැඩක් නැත. ඔහු පටන් ගද්දි සිටියේ මොන තත්වයේ ද යන කාරණය කිසිවෙක්ට අදාලත් නැත. බන්දු සමරසිංහ නම් දුප්පත් කොල්ලා දශක ගණනක් මුළුල්ලේ අද සිටින තත්වයට පැමිණි මඟ පිළිබඳ සොයා බැලීමට උවමනාවක් ද නැත. මන්ද කුමන තත්වයේ කොහේ සිට ආවත් ඔහු තුළින් තව දුරටත් ‘දුප්පත් කොල්ලා’ ව දැකීම අපහසු නිසාය.

මොවුන් ඔල්වරසන් දුන් බන්දු සමරසිංහ නම් දුප්පත් කොල්ලා දැන් තව දුරටත් දුප්පත් කොල්ලෙක් නොවේය. ඔහු ජයගෙනය. ජයග්‍රහණය කල වරදට ඔහු දැන් චූදිතයෙක් වී ඇත. තමා අමාරුවෙන් උපයාගත් ධනය, ගොඬනගා ගත් අනන්‍යතාවය රැකගැන්මට නීතිය ඉදිරියට යන දුප්පත් කොල්ලා අද දුෂ්ඨයා ලෙස හංවඩු ගැසී ප්‍රතික්ෂේප වී ඇත.

තමා ගොඬනඟාගත් අනන්‍යතාවය සහ තම ජීවන මාර්ගය රැක ගැනීමට නීතිය ඉදිරියට ගිය පසුව පොහොසත් වූ දුප්පත් කොල්ලාව දුප්පත් වංචාකාරයෙක්ගෙන් බේරා ගැනීමට කිසිවෙක් නැත.

පොදු සමාජයේ ආදරය සහ අනුකම්පාව රඳවා ගැනීමට නම් කොල්ලා සැමවිටම දුප්පත් විය යුතුය. පරාජිතයෙක් විය යුතුය. පරාජිතයෙක් වන තාක් ඔහුට ඔවුන්ගේ අනුකම්පාව හිමි වීම නියතය. පරාජිතයෙක් නොවන ජයගත් දුප්පත් කොල්ලාට අයිති වන්නේ අද බන්දු සමරසිංහට අත්වී ඇති ඉරණමමය.

ඔහුව අජිත් බණ්ඩාරගේ ‘දුප්පත්කම’ ඔටුනු පළඳා සුපිරි තරුව ලෙස අභිශේක කරනු ලැබූ ජනතාව විසින් චූදිතයා කොට තිබේ.

“බන්දු,

දිගාවෙයන් බිම

තොට දැන් හිමි දඬුකඳ ය

මන්ද

උඹ දැන් උන්ගෙන් එකෙකි”

Advertisements

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s