අහෝ ගප්පියා නොදිටි මොක්පුර

අන්තර්ජාලය හරහා තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුන ගප්පියා ගැන නොදන්න තරුණයෙක්/තරුණියක් ඇත්තේම නැති තරම්ය. එනිසා ගප්පියා ගැන කෙටි හෝ හැඳින්වීමක් කිරීමට බ්ලොග්කරු අදහස් කරන්නේ නැත. තෙවසරකට පෙර YouTube වෙබ් අඩවිය හරහා තම පළවෙනි වීඩියෝව ඉදිරිපත් කල ගප්පියාගේ වීඩියෝ නැරඹූ පිරිස දැනටම 4,118,998 කි. ඔහුගේ YouTube Channel එක Follow කරන පිරිස මෙම සටහන පලකෙරෙන මොහොත වන විට 30,220 කි. කෙටි කලක් තුළ සයිබරය තුළ වැඩිම පෙරළියක් කල ශ්‍රීලාංකිකයා ගප්පියා දැයි සිතන තරමට ඔහු සයිබරය තුළ සාර්ථකත්වයක් ලබා ඇත.

තමාගේම ස්වඋත්සාහයෙන් තම නිර්මාණ කටයුතු සිදුකරන ගප්පියා දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවෙකි. ලංකාවේ සිටි කාලයේ ඔහු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සම්මුඛ සාකච්ඡාවලදී පවසා තිබුණි. ඒ සෑම සම්මුඛ සාකච්ඡාවකදීම ඔහුට පිළිතුරු දීමට සිදුවුන එක්තරා ප්‍රශ්නයක් හා එයට ඔහු දුන් පිළිතුර බ්ලොග්කරුගේ අවධානය දිනා ගැනීමට සමත් විය. ඒ, ගප්පියා ඕස්ට්‍රේලියාවේ කරන රස්සාව මොකක්ද? යන ප්‍රශ්නයයි. පහත උපුටා දක්වා ඇත්තේ එම ප්‍රශ්නයට ගප්පියා දුන් පිළිතුරයි.

“මට ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න ඕන වුණා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ගියා. ඒක කෙළ වුණානේ. ඉතින් මම අතරමඟ ඉගෙන ගැනිල්ල නැවැත්තුවා. ඊට පස්සේ පිඟන් කොප්ප හේදුවා. ලංකාවෙ භාෂාවෙන් කිව්වොත් වළං හෝදනවා. ලංකාවට ආවේ ඒ ජොබ් එකෙන් අයින් වෙලා. ආයේ ගියාම කරන්නේ වළං හෝදන එකම තමයි.”

ගප්පියා තරුණ පරපුර අතර ජනප්‍රියවීමටත් ගප්පියාගේ YouTube නිර්මාණ ඒ තරුණ පරපුර විසින් වැළඳගන්නත් මුල් වුන රහස ඔය පිළිතුර තුළ සැඟව ඇති බව බ්ලොග්කරු සිතයි. ඒ වෙන කිසිවක් නොව,

ඒ පිළිතුරෙන් හෙළිවන ගප්පියාගේ අවංකකමයි

ගප්පියාගේ නිර්මාණ වල සහ අදහස් වල තිබුණු ඒ අවංක කම ඔහුගෙ ගොඩක් නිර්මාණ තුළින් දැකිය හැක. කෙටිකලක් තුළ ලබා ගත් ගප්පියාගේ සාර්ථකත්වයට සහ නිර්මාණවල සිත්ගන්නා සුළුබවට ඒ අවංකබව මූලික වුනු බව බ්ලොග්කරුගේ මතයයි.

ගප්පියා ගැන ලියවෙන මෙම සටහන ලිවීමට මුල්වූ හේතුව ගැන සිතන විට බ්ලොග්කරුට සිහියට නැඟෙන්නේ මාලන් සමරවික්‍රම නම් මිතුරා ඔහුට දින කිහිපයකට පෙර පැවසූ කතාවකි. මාලන් පැවසූ අන්දමට ඔහුත් මෙම කතාව අසා තිබුනේ වෙන කොහේ හෝ තැනකිනි.

“මචන්.. අපේ මිනිස්සු වඳිද්දි පෙරළි පෙරළි වඳිනවා. ගහද්දි පෙරළ පෙරළ ගහනවා”

මාලන්ගේ ඒ කතාවේ යම් සත්‍යතාවයක් ඇති බව බ්ලොග්කරුගේ විශ්වාසයයි. පළමු කරුණ නම්, මිනිසුන් විසින් අන් අයගේ අදහස් සමඟ ගනුදෙනු කිරීම වෙනුවට වැඩි වශයෙන් පෙළඹෙන්නේ අන් අයගේ චරිත සමඟ ගනුදෙනු කිරීමටයි. පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය සමඟ ගනුදෙනු කල යුතු අන්දම සහ ඔහුගේ අදහස් සමඟ ගනුදෙනු කල යුතු අන්දමත්, එමෙන්ම ඒවායේ සීමා මොනවාද යන්නත් පිළිබඳව බොහෝ දෙන තුළ ඇත්තේ අනවබෝධයකි. කෙනෙකුගේ අදහස් වලට එකඟ නොවන අවස්ථාවන් හීදී අදහස් විවේචනය කිරීම වෙනුවට අදාල පුද්ගලයාට පහර ගැහීමටත්, තමාගේ අදහස් විවේචනය වන විට අදාල විවේචනය තම අනන්‍යතාවය ඉලක්ක කරමින් එල්ල කෙරෙන පහර ගැසීමක් යයි සලකා පෙරලා පුද්ගලයින්ට පහර ගැහීමත් සිදුවන්නේ මේ හේතුවෙන්ය.

දෙවන කරුණ නම් මිනිසුන් බොහොමයක් පුද්ගල චරිත තුළින් සුදු හෝ කළු චරිත දක්නට උත්සාහ කිරීමයි. මිනිසුන් සුදු, කළු ලෙස වර්ගීකරණය කිරීමට පෙළඹීමයි. ලෝකයේ කොතැනක හෝ සම්පූර්ණ සුදු චරිත හෝ සම්පූර්ණ කළු චරිත හෝ නොමැති බව තේරුම් නොගැනීම හේතුවෙන් ඔවුන් දකින්නේ ඇදහිය යුතු වීරයන්ය, නැතහොත් පිටුවහල් කල යුතු දුෂ්ඨයන්ය.

මාලන්ගේ එම කතාව ගප්පියාට සම්බන්ධ කිරීමට සිදුවූයේ ගප්පියාද එක මොහොතින් සුදු චරිතයක්ව හිඳ කළු චරිතයක් බවට සැලකිය යුතු ප්‍රමාණයක පිරිසක් ඉදිරියේ පරිවර්තනය වූ නිසාය.

පොසොන් පොහොය දින ඔහු විසින් පළකෙරුන කාටූනයක් හේතුකොටගෙන සුපිරි වීරයෙක්ව සිටි ගප්පියාට කළු සුද්දා යැයි ලේබලය වැදුනි. රසිකයන් ඉදිරියේ වීරයෙක් වූ ඔහු එක්වරම නරුමයෙක් බවට පත් වුනි. එලෙස යම් පිරිසක් ඉදිරියේ හංවඩු වැදීමට හේතුවුන කාටූනය පහත දක්වා ඇත.

10984453_762087967237228_7054401640869895083_n

බැලූ බැල්මට සරල පණිවිඩයක් දෙන මේ කාටූනයෙන් සිදුවන්නේ වැදගත් අවස්ථාවලදී අදාල දේ පැත්තකින් තබා selfie ගැනීමේ රැල්ල දෙස උපහාසත්මක ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමයි. නමුත් ගැටළුව මතුවුනේ අදාල පණිවිඩය ඉදිරිපත් කිරීමට ගප්පියා පසුබිම ලෙස තෝරාගත් සිද්ධිය හරහාය.

හැඟීම් වලට මිස තර්කයට හෝ බුද්ධියට හසුනොවන අදහස් දරනා සිංහලබෞද්ධයින්ගේ(තනි වචනයකි) උතුම් මෙව්වා එකක් යැයි සැලකෙන සිද්ධියක් පසුබිම්කරගෙන අදාල පණිවිඩය ඉදිරිපත් කිරීම නිසායි සුදු ගප්පියා කළු වීමට හේතුව වූයේ. සිංහලබෞද්ධ(තනිවචනයකි) සංකල්ප හා බැඳෙන සියලුම දේට කොන්දේසි විරහිතව පෙරළි පෙරළි වන්දනා කරන්නත් සිංහලබෞද්ධ(තනිවචනයකි) සංකල්ප වලට ළඟින් හෝ තර්ජනයක්, අපහාසයක්, උපහාසයක් කෙරෙන දේ වලට පෙරළ පෙරළ ගහන්නත් පුහුණු කොට තිබෙන මිනිස්සුන්ගේ ඒ හැසිරීම් තර්කයෙන් සාධාරණීයකිරීමට හැකියාවක් ඒ මිනිසුන්ටවත් නැත.

“ලේනෝ ලේනෝ මේ දත අරන් අලුත් දතක් දියෝ”

කියමින් අලුත් දතක් ඉල්ලා හැලුන දත වහලයට විසි කල වයසේ සිට ඔවුන්ගේ නොමේරූ මොළ තුළට ඔබ්බවන ලද මෙම අදහස් ඔවුන් කුඩා කාලයේදීම මෙන් වැඩිහිටියන් වන අදත් පිළිගන්නේ කොන්දේසිවිරහිතව ප්‍රශ්න කිරීමෙන් තොරවයි. මෙම අහිංසකයින් තමාගේ සංස්කෘතියේ සහ පවුල් පසුබිමේ ගොදුරුය. ලෝකයේ සෑම සංස්කෘතියකටම අඩු වැඩි වශයෙන් උරුම වුන මෙවන් චරිත කුඩා කාලයේ සිට ලැබුන පුහුණුව සහ මොළ සේදීම නිසා තමාගේ උතුම් එක ලෝකයේ තියෙන සියලු දේ වලට වඩා උතුම්ම එක කියා අදහයි. මිලිටරි මොළ සේදීමකට නෑදෑකම් කියන පුහුණුවක් කුඩා කල සිට ලබන ඔවුන්ගේ පක්ෂපාතීත්වය ලබන ගෝත්‍රය, සංස්කෘතිය හෝ දැනුම් පද්ධතිය තීරණය වන්නේ ඔවුන්ගේ සමාජ සහ පවුල් පසුබිම මතය. ක්‍රම ක්‍රමයෙන් වැඩිහිටියන් බවට පත් වන මේ අසරණයින් දිනෙන් දින සිදුවන සංස්කෘතික සහ සදාචාරාත්මක පරිනාමය නැවැත්වීම වෙනුවෙන් රෙදි කරට ගෙන සටන් කිරීමට වුවද සූදානම්ය.

ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහිල්ලේ සිට දේශපාලකයින්ට සහ ආගමික නායකයින්ට තම අවශ්‍යතා ඉෂ්ඨ කරගැනීම සඳහා නැටවීම පිණිස සමාජ කම්හලෙන් නිෂ්පාදනය කෙරෙන රූකඩ වල පැවැත්ම තහවුරු කෙරෙන්නේ එසේය. එම පැවැත්ම තහවුරු කිරිමේ මූලිකත්වය ගන්නේද එම දේශපාලකයින්ම සහ ආගමික නායකයින්මය.

ගප්පියා යනු ඒ සුළි සුළඟට එක් අවස්ථාවක හසුවූ එක් මිනිසෙක් පමණි. මෙහි සැබෑ ප්‍රතිපල මෙතරම් සරල නැත. සයිබරයට පමණක් සීමා වන්නේද නැත.

ගප්පියා මේ සටහන දකින්නේ නැති වුවත් ඔහු වෙනුවෙන් අවසාන වචන කිහිපය වෙන් කිරීමට කැමැත්තෙමි. බ්ලොග්කරු මතක් කරන්නේ ගප්පියාට ඔහුගේ සියලුම රසියකයින් අහිමි නොවූ බවය. අහිමි වූයේ විහිලුවක් යනු මොකක්ද, විහිලුවකින් අදහස් කරන්නේ මොකක්ද, යම් විහිලුවකින් ඉලක්ක කෙරෙන්නේ මොකක්ද කියන දේ තේරුම් ගැනීමට නොහැකි අඳබාල මුග්ධයෝ පිරිසක් පමණි.

ගප්පියා මචන්. ඔහොම යමං.. උඹට ජය !

ප.ලි – මෙම සටහනේ සිංහලබෞද්ධ(තනිවචනයකි) යනුවෙන් සියලු බෞද්ධයින් ගැන අදහස් නොකරන බවත් සැබෑ බෞද්ධ මිතුරු මිතුරියන් මෙම ලිපියෙන් ඔවුන්වත් ඉලක්ක කෙරෙනවා යැයි වැරදි වැටහීම් ඇති කර නොගනීවි යැයිද අපේක්ෂා කරමි.

Advertisements

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s