කළු ගිරවා

අහස වැහි අන්ධකාරයෙන් පිරිලා.


කළු ගිරවා වටපිට බැලුවා


මහා දරුණු කුණාටුවක් ළඟ එන බව ඌට දැනුනේ ඉවෙන් වගේ


පෝරකය වටේට හිටපු පාට පාට ගිරව් ඌ දිහා බලාගෙන හිටියා,


රතු පාට ගිරව්, කොළ පාට ගිරව්, නිලුයි කහයි කලවං ගිරව්, රතුයි කහයි නිලුයි කලවං ගිරව්,


පාට පාටින් කලවං වෙච්චි යායක්..


වේදිකාව උඩ හිටිය නිසා පහළින් හිටපු ලක්ෂ ගාණක් ගිරව් ඔක්කොමල්ලව කළු ගිරවට පැහැදිළිව පෙනුනා. එකින් එකාව..


එක් කෝටි අසූ ලක්ෂයක් ගිරව් !


උන්ට කළු ගිරවව පෙනුනටත් වඩා පැහැදිළිව කළු ගිරවට උන්ව පෙනුනා


උන්වත් උන්ව මෙච්චර හොඳට දැකල තිබ්බෙ නෑ


හැම ගිරවගේම පාට පාට අස්සෙන් කළුපාට ඉතුරු වෙලා තියෙනවා කළු ගිරවා දැක්කා


ගිරව් ඔක්කෝමල්ලා ගේ ඇස් එළියට ඇවිල්ලා

කටවල් ඇරිලා

කෙළ බේරෙනවා


“මරපියව්..! ඕකව එල්ලපියව්ව්ව්.. කවුරු හරි ඕකාගේ තටු දෙක ඉරපන් ! .. පොන්නයාව එක පාර මරන්න එපා…ආ ! දසවද දෙන්න ඕනේ මේවගේ අසමජ්ජාති බල්ලන්ට..හම ගහලා මරපාන් කැරි පොන්නයාව..!”


පාට පාට ගිරව් මොර දුන්නා


උන්ගේ ඇඟවල් වෙව්ලනවා. තටු ගැහෙනවා. උන් කළු ගිරවගේ මූණට කෙළ ගැහැව්වා


කළු ගිරවගේ අත් වලට මාංචු දාලයි තිබ්බෙ.


“මුං ගෙ හැටි විතරක්”


ඌ හිතුවා. 


තමා වැඩියෙන් වද වෙන්න ඕන ඉහළින් එන්න නියමිත මහා කුණාටුව ගැනද, පහළ ඉඳගෙන  තමාගේ මිනී රස ඉල්ලමින් කෑ මොර දෙන ගිරව් ගැනද කියන එක තේරුම් ගන්න කළු ගිරවට පුළුවන් කමක් තිබුනේ නෑ


එක පාර පාට පාට ගිරව් ගොඩෙන් ලොකු ගිරවෙක් වේදිකාවට පියාඹලා ආවා. ඌට කිසිම පාටක් තිබ්බෙ නෑ. පාටක් නැති ගිරවෙක්. ඌ වෙනම ජාතියක එකෙක් වෙන්නැති,


කළු ගිරවා හිතුවා


බෙල්ලෙ ඉඳන් උඩට මුලු ඔලුවම කළු පාට රෙද්දකින් වහල තිබ්බ නිසා කළු ගිරව උගේ මූණ දැක්කෙ නෑ. උගේ ඇස් දෙකයි හොටයි එළියට එන්න පුළුවන් විදිහට රෙද්දේ සිදුරු විදලා තිබ්බා

එක පාරම පාටක් නැති ගිරවා හොරණෑවක් අරන් පිඹින්න ගත්තා.


මහා හයියෙන් !


හොරණෑ සද්දෙ මුළු පලාතෙම පැතිරුනා


ඈතින් ගිරව් තුන් දෙනෙක් එනවා කළු ගිරව දැක්කා. දෙපැත්තෙන් හිටියෙ පාට පාට ගිරව් දෙන්නෙක්. උන්ගේ අත් වල ආයුධ තියෙනවා කළු ගිරව දැක්කා. තවම හොරණෑ හඬ පලාතම දෙවනත් කරනවා


කළු ගිරවගේ කං අඩි පැළෙන්න වගේ..එක පාරම කළු ගිරවා මැද ඉන්න ගිරවව දැක්කා


මැද්දෙ හිටියෙ සුදුම සුදු ගිරවෙක්


“අයියා”


කළු ගිරවට කියවුනා. මැද හිටිය සුදුම සුදු ගිරවා කළු ගිරවගේ අයියා බව ඌ අඳුරගත්තා. කළු ගිරවගේ අයියා සුදුම සුදුයි. 


කළු ගිරවාගේ කළු පාටටත් වඩා සුදු ගිරවාගේ සුදු පාට සුදුයි


හොරණෑ හඬ නැවතුනා


“නිහඬ වනු”


සුදු ගිරවා ගේ දකුණු පැත්තේ හිටිය ගිරවා විධානයක් දුන්නා. ලක්ෂ ගාණක් ගිරව් මීයට පිම්බා වගේ. හ්ම් සද්දයක් නෑ. කළු ගිරවාට දඬුවම් ලැබෙනකල් නොඉවසිල්ලෙන් හිටියෙ, උන්


සුදු ගිරවා ඇවිල්ලා තියෙන්නේ තමාව විනිශ්චය කරන්න බව කළු ගිරවා දැනන් හිටියා



සුදු ගිරවාට වම් පැත්තෙන් උන්නු ගිරවා චෝදනා පත්‍රයක් කියවන්න ගත්තා. කළු ගිරවා උපන් දා ඉඳල කරපු වැරදි ඔක්කොම, ඒ චෝදනා පත්‍රයේ තිබ්බා. වම් පැත්තේ ගිරවා ඒ එකින් එක කියෙව්වා


චෝදනාවෙන් චෝදනාවට පාටපාට ගිරව් කළු ගිරවට කෙළ ගැහැව්වා. නින්දා කලා


ඔක්කෝම ගිරව් හිතන් හිටියේ උන් කළු ගිරවව විනිශ්චය කරන්න ආවා කියල. ඒත් අද කළු ගිරවගේ විනිශ්චය දවස වගේම මෙතන උන්නු අනිත් ගිරවුන්ගෙන් විනිශ්චය දවස බව දැනන් හිටියේ කළු ගිරව විතරයි


වම් පැත්තේ ගිරව කළු ගිරවගේ චෝදනා පත්‍රය කියවල ඉවර කලා


සුදු ගිරවා ඉස්සරහට ආවා


මීයට පිම්බා වගේ නිහඬබවක් හතර අත පැතිර තිබුනා


“තමාට එරෙහිව තියෙන චෝදනා වලට, තමා වැරදි කරුද? නිවැරදි කරුද?”


සුදු ගිරවා ශබ්ද නඟලා කළු ගිරවගෙන් ඇහැව්වා


කළු ගිරවා නිශ්ශබ්දයි


“තමාට එරෙහිව තියෙන චෝදනා වලට, තමා වැරදි කරුද? නිවැරදි කරුද?”


සුදු ගිරවා දෙවෙනි වතාවටත් ඇහැව්වේ තවත් සද්දය වැඩි කරමින්


“මම වැරදිකාරයද නැද්ද කියල තීරණය කරන්න උඹ කව්ද?”


කළු ගිරවා තමාගේ සහෝදරයගෙන් කෑගහලා ඇහැව්වා


“උඹ උඹේ ජීවිත කාලයේදී වැරදි ගොඩක් කරලා තියෙනවා, සමාව දෙන්න බැරි වැරදි. අන්තිමට අපි උඹව අල්ලගත්තා, දැන් අපි යුක්තිය සාධාරණය ඉෂ්ඨ කරන්නයි යන්නෙ. කියපන්. අන්තිම වතාවට අහන්නෙ. උඹ මේ චෝදනා වලට වැරදිකරුද? නිවැරදිකරුද?”


“ඇයි උඹලා උඹලගේ ජීවිත වල වැරදි කරල නැද්ද? ඇරත් මම කල දේ වල හරි වැරැද්ද තීරණය කරන්න උඹ කව්ද? ඔව්, මං මිනී මැරුවා. ස්ත්‍රී දූෂණය කලා, පොඩි උන්ව පුච්චලා මැරුවා, මංකොල්ලකෑවා..


කළු ගිරවා වේගයෙන් කියෝගෙන කියෝගෙන යනවා.


“මං කලේ මට හරියි කියල හිතුන දේ. දැන් උඹ හදන්නෙ මාව ලක්ෂ ගාණක් ඉස්සරහා මගේ හුස්ම හිර වෙනකන් එල්ලලා මරන්න. ඒ උඹ හරියි කියල හිතන දේ. උඹට පුළුවන් නම් උඹ හරියි කියල හිතෙන විදිහට මිනිස්සු මරන්න, ඇයි මට බැරි?”


කළු ගිරවගේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගිහින්..


“උඹට මතකද? අපි දෙන්නා පොඩි කාලේ ආපු මහා කුණාටුව? ඒ කුණාටුවට අහුවෙලා මාව වැටුනේ කන්දෙන් එහා පැත්තට. උඹව වැටුනා කන්දෙන් මෙහා පැත්තට. මතකද උඹට? බැරි වෙලාවත් මම මේ පැත්තට වැටිලා උඹ කන්දෙන් එහා පැත්තට වැටුන නම් අද මම ඉන්නේ උඹ ඉන්න තැන. උඹ ඉන්නේ මම ඉන්න තැන !”


මීයට පිම්බා වගේ හතර අතම නිහඬ වෙලා. ලක්ෂ ගාණක් ගිරව් කටවල් ඇරගෙන සුදු ගිරවගෙයි කළු ගිරවගෙයි කථාව අහං ඉන්නවා


සුදු ගිරවා ආයේ කතා කරන්න ගන්නවා


“එහෙමයි කියලා උඹට මෙහෙම අපරාධ කරන්න අයිතියක් නෑ. උඹේ අපරාධ වලට දඬුවම් ලැබෙන්න ඕන. උඹ කරපු අපරාධ වලට ලැබෙන්න ඕන දඬුවම තමයි, මරණය !”


මෙච්චර වෙලා නිහඬව හිටපු ගිරව් ආයේ යටිගිරියෙන් කෑගහන්න ගත්තා..


“මරපියව් ඕකව.. එල්ලපියව්.. මරපියව්..”


පාට පාට ගිරව් ආයෙත් කෑගහන්න ගත්තා.


එක පාර කළු කරගෙන තිබුන අහස එන්න එන්නම ඝන අන්ධකාරයෙන් පිරිලා ගියා. සුදු ගිරවට මතක් වුනා තමා පොඩි කාලෙදි තමාගේ මල්ලිව, කළු ගිරවාව තමාගෙන් වෙන් කරපු ඒ මහා කුණාටුව.


ආයේ ඒ වගේම කුණාටුවක් එන්න යන්නේ. අත ලඟම. ඉක්මනට ඉගිල නොගියොත් සියල්ලන් විනාශ වෙන බව සුදු ගිරවාට තේරුනා


“මරපියව්.. අපිට කළු ගිරවගේ මිනිය ඕනේ..”


පාටපාට ගිරව් නොනවත්වා කෑගහනවා. ආවේශයෙන් වගේ. ලේ රස දැනුන වෘකයන් වගේ


“ඕකාගේ කැවුතු කන්න ඕනා අපිට. ඕකාගේ මස් අපේ බල්ලන්ට කන්න දාන්න ඕනේ…”


එන්න එන්නම කුණාටුව ළං වෙන බව සුදු ගිරවට තේරුනා. හැකි ඉක්මනින් මෙතනින් ඉගිළ යා යුතු බව ඌ තේරුම් ගත්තා


“මහා කුණාටුවක් එන්න යන්නේ.. ඔක්කෝමල්ලා ඉකමනට මෙතනින් ඉගිලිලා පලයල්ලා.. පලයල්ලා.. ජීවිත බේරගනිල්ලා..”


සුදු ගිරවා කෑගැහැව්වා


එන්න එන්න වැස්ස වැඩි වෙනවා..


ඒත් පාට පාට ගිරව් එක් කෝටි අසූ ලක්ෂයට ගාණක්වත් නෑ. 


කළු ගිරවාගේ අවසානය දකිනකල් පාට පාට ගිරව් මෙතනින් හෙල්ලෙන්නේ නැති බව සුදු ගිරවට තේරුනා..


“උපන් දා සිට සිදු කරල ලැබූ සියලුම වැරදි වලට සුදු ගිරවා වන මා විසින් කළු ගිරවව වැරදිකරු කරනවා”


සුදු ගිරවා තීන්දුව දුන්නා


“කන්දේ මෙහා පැත්තේ ඉඳන් කන්දෙන් එහා පැත්තට වැටුන මාව විනිශ්චය කරන්න හදන පරවාදී බල්ලෝ !”


කළු ගිරවා ආවේශයෙන් මොර දුන්නා


පාටක් තිබ්බේ නැති ගිරවා කළු ගිරවගේ ඔලුවට කළු රෙද්දක් දැම්මා.


එන්න එන්නම වැස්ස වැඩිවුනා. 


පොළව හොල්ලමින්, අහස දෙදරමින් අකුණු හඬ දසත පැතිරුනා.


ඔක්කොමල්ලා වැහි වතුරින් නෑවිලා. 


හුළඟේ සැරට වටේ තිබ්බ ගස් කඩන් වැටෙන්න නොවැටෙන්න වගේ


“ඕකව මරපන්.. ඉවරයක් කරපන්”


පාට පාට ගිරව් මොර දුන්නා.


කුණාටුව එන්න කලින් කළු ගිරවාගේ මරණය සිද්ද වුනේ නැතිනම් අද සියල්ලන්ගේම අවසානය, සුදු ගිරවා දැනගත්තා


“ඕක ඉක්මන් කරපන්,”


ඔක්කෝම ගිරව් අන්ධ වෙලා හිටියේ කළු ගිරවගේ මරණය දකින ආසාවෙන්


උන්ව වට කරගෙන එන මේ මහා කුණාටුව ගැන උන්ට වගක් තිබ්බේ නෑ


පාටක් නැති ගිරවා කළු ගිරවගේ බෙල්ලට තොණ්ඩුව දැම්මා


විධානය !


සුදු ගිරවා අතින් සංඥාවක් දුන්නා…..


පාටක් නැති ගිරවා පෝරකයෙන් කළු ගිරවාව නිදහස් කලා..


ඒත් එක්කම කං අඩි පැලෙන සද්දයෙන් මහා භයංකර අකුණක් ගැහැව්වා


ලෝකයේ කිසිම කෙනෙක්ට කිසිම විදියකින් දරා ගන්න බැරි අකුණු සැරයක්!


කළු ගිරවා බෙල්ලෙන් එල්ලිලා හිටියෙ. දඟල දඟල


කළු ගිරවාගේ දැ‍ඟලිල්ල දැකලා පාට පාට ගිරවුන්ගේ ඇස් බැබලුනා


“බරාස්…..”


එකපාරම මහා සද්දයකින් යාය වසාගෙන හිටිය මහා වෘක්ෂය දෙකඩ වුනා.


මේ වෘක්ෂය උඩ ඉද්දියි කලින් කුණාටුව නිසා අයියයි  මල්ලියි දෙපැත්තට වැටුනේ, සුදු ගිරවට මතක් වුනා


අකුණු සැරයට දෙකට වුන ඒ මහා වෘක්ෂය මහා හඬින් යායේ හිටපු එක්කෝටි අසූ ලක්ෂයක් ගිරවුන් මතට පතිත වුනා.


උන් අවසාන නිමේෂයේ දැක්කේ දඟල දඟල හිටිය කළු ගිරවගේ දේහය නිසල වෙන හැටි..


සතුටින්.. සිනහමුසු මුහුණින්.. බැබළුනු ඇසින්.. 


තත්පරයකින් මහා වෘක්ෂය මුළු යායම වසාගත්තා.


ඊළඟ තත්පරයේ ඉතිරි වුනේ යායක් සහ යායම වසාගත්ත වෘක්ෂයක් විතරයි.


එකම ගිරවෙක්වත් දකින්නට හිටියේ නැහැ.


පැත්තකින් පෝරකය විතරක් ඉතුරු වෙලා තිබ්බා.

ප/ලි – පන්සිය පනස් ජාතක පොතේ එන සත්තිකුඔ ජාතකය කියවා නැති අය සොයාගෙන කියවන්න. කුඩා දරුවෙකුට පවා තේරුම් ගත හැකි සරල, එහෙත් ගැඹුරු පණිවිඩයක් ලබා දෙන කථා වස්තුවකි. 

Advertisements

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s