අනිත්‍යය ; ඔච්චරම අවුල්ද?

හැමදේම අනිත්‍යයිය. එනිසා මේ ලෝකයේ තියෙන දේවල් ඵල රහිතය. මිනිස් අත්දැකීමට විවෘත සියලු රසයන්, සියලු හැඟීම් එනිසාම තේරුමක් නැතිය වගේ කතාවක් ගොඩක් අය අහල ඇති.

සමහර විට වැඩිහිටියෙක්ගෙන්, සමහරවිට භික්ෂුවකගෙන්, සමහර විට ලවුඩ්ස්පීකර් කටකින්, සමහර විට පොත පතකින්, හරි මොකෙන් හරි; අපේ සමාජයේ මිනිස්සු අහල තියෙන, ඔලුවල මුල් බස්සවල තියෙන ඒ මතය ඇතුලේම තියෙනව ලොකු අවුලක්.

හැමදේම අනිත්‍යය බව ඇත්ත. වෙනස්වන සුළු බවත් ඇත්ත. නැසෙන සුළු බවත් ඇත්ත.

ඒත් ඒ අනිත්‍යය බව නිසාම මිනිසාට විඳිය හැකි සියලු රසයන්, අත්දැකීම්, හැඟීම්, ඵල රහිතද? තේරුමක් නැද්ද?

රසවත් ආහාර වේලක් ගද්දි දැනෙන රසය ඵල රහිතයි, මොකද ඒ රසවත් බව අනිත්‍යය නිසා; දීර්ඝ කාලයක් කැපවීමෙන් තමා ජීවිතයේ ලබන ජයග්‍රහණයක සතුට ඵල රහිතයි, මොකද ඒ සතුට තාවකාලික නිසා; මිහිරි සංගීත නාදයක් කණවැකෙද්දි දැනෙන ඒ හැඟීම ඵල රහිතයි, මොකද ඒ හැඟීම තාවකාලික නිසා.

ඔහොම කතාවක් නෙ කියන්නෙ

ඔය සංකල්පය ගොඬනැගෙන්නෙම යමක වටිනාකමක් තිබෙන්නට නම් ඒ හැඟීම තාවකාලික නොවිය යුතුය කියන පදනම මත.

ඔය සංකල්පය ඇතුලෙම තියෙන්නෙ, තාවකාලිකත්වයට සීමා නොවූ, සදාකාලික වූ සැප බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු වෙන සදාකාලික සැප නොලැබීයාම තුළින් හටගන්නා ඉච්ඡාභංගත්වයක්. ලෝක යථාර්තය, ඒ කියන්නෙ තාවකාලික බව ඒ අයුරින්ම බාර ගැනීමට තියෙන අසමත්කමක්.

ඇයි රසවත් ආහාරයක් අනුභව කරන කෙනෙක්ට දැනෙන ඒ රසවත්බව තේරුමක් තියෙන්න බැරි, ඒ රසවත් බව තාවකාලික වෙලා?

රසවත් බවේ තේරුමක් තියෙන්න, ඒ රසවත් බව සදාකාලික වෙන්නම ඕනද? රසවත් ආහාරයක් ගැනීමේ අත්දැකීම ඵල සහිත දෙයක් වෙන්න ඒ ආහාරය පුටුවක් උඩ ඉඳගෙන සදාකාලිකවම කකා ඉන්න ඕනද?

ඕකයි ඔතනදි නැඟෙන ප්‍රශ්නය.

නමුත් ඇත්තටම හිතල බැලුවොත්, යථාර්තය එක්ක ගනුදෙනු කරන්න මීට වඩා හොඳ සංකල්පීය දැක්මක් අපිට හදාගන්න බැයිද?

රසවත් කෑම එකක් කන එකෙන් ලැබෙන ඒ රසය තාවකාලික නිසාම තමයි එහි වටිනාකමක් තියෙන්නෙ.

තමාගේ ජීවිතයේ විඳිනා හැම සතුටකම පසුපස ඇති යථාර්තය, හෙවත් තාවකාලික බව නිසාම ඒ දේවල් වලට එකතු වන්නේ වටිනාකමක් මිසක අර්ථ ශුන්‍යය බවක් නෙමේ.

හිතන්න.

තමා තමාගේ දරුවාව වඩා ගන්නා අවසාන අවස්ථාවක් කවදා හෝ උදාවෙනවා. තමා තමාගේ මවගේ, පියාගේ කටහඬ අහන අවසාන අවස්ථාවක් තියෙනවා. තම බිරිඳගේ, සැමියාගේ සිනහව දකිනා අවසාන අවස්ථාවක් තියෙනවා.

අවසාන අවස්ථාව බවද නැද්ද කියා නොදැන, එහෙම අවස්ථාවක් ඇති බව ගැන අවබෝධයෙන් තම දරුවාව වඩා ගනිද්දි, සිප ගනිද්දි, ඒ මානුෂීය හැඟීමට එකතු වන්නේ අසීමිත වූ වටිනාකමක් නොවේද?

ඒ තාවකාලික බව නිසාම, සීමිත බව නිසාම, මිනිස් අත්දැකීම් වල වටිනාකම තව තවත් වැඩි නොවනවා නොවේද?

තම මව, පියා කවදා හෝ මියයන බවේ යථාර්තයට මුහුණ දීමට තියෙන හොඳම ක්‍රමය ඔහු සමඟ/ඇය සමඟ ඇති බැඳීම නැති කර ගැනීමද? එසේත් නැතිනම් ඔහුත් සමඟ/ඇයත් සමඟ ගතකිරීමට ඇති කෙටි කාලයේ ඇති අසීමිත වටිනාකම තේරුම්ගෙන, ඒ අනුව කටයුතු කොට කවදා හෝ ඔවුන් මියයාමේ යථාර්තයට බුද්ධිමත් මනුෂ්‍යයෙකු සේ මුහුණ දීම නොවේද?

මෙවන් මතවාද බොහෝමයකට තියෙන්නේ ආගමික මූලයන්.

සමහර ආගම් වල මිනිස් ජීවිතය අවසන් වීමෙන් පසු එළඹෙනවා යැයි කියන සදාකාලික ජීවිතයක් උදෙසා මේ ජීවිතයේ කලයුතු කැපකිරීම්, පනවා ගත යුතු සීමාවන් ගැන උගන්වනවා. ඒවා තම අනුගාමිකයින්ව මානසිකව සිරකූඩු වල දැමීමෙන් සදාකාලික වූ සැපතක බලාපොරොත්තුවක් ලබා දෙනවා. මරණින් පසු තියෙනවාය කියල ඔවුන් උපකල්පනය කරනා ජීවිතයක් වෙනුවෙන්, පවතින බව සැබවින්ම දන්නා මේ ජීවිතයේ අරුත නැති කරගන්නවා.

ඒ සදාකාලික සැපතක් බලාපොරොත්තුවෙන්.

තවත් ආගම් වල සදාකාලික සැපතක් නොලැබීමේ දුකෙන්, හෙවත් සැපත තාවකාලික වීමේ ඉච්ඡාභංගත්වයෙන් ස්වභාවික වූ මිනිස් හැඟීම් සෘණාත්මක ලෙස අර්ථ දක්වනවා.

මේ සියල්ල සදාකාලික වූ සැපත කියන සංකල්පය හා බැඳුනු මිනිස් වියරුවේ ප්‍රතිඵල.

නමුත් මරණින් පසු සදාකාලික සැපතක් සොයා යාම වෙනුවට, මේ ජීවිතය ගැන අවධානය යොමු කරන්නන් කවදා හෝ ‘මේ ජීවිතයේ’ ගැටළු වලට සැබෑ විසඳුම් සොයා ගනීවි.

මොකද ආගමික පසුබිමකින් එන ප්‍රශ්න බොහෝ විට වැඩි අවධානයක් යොමු කරන්නෙ මරණින් පස්සේ තියෙනවා ඇතියි කියල උපකල්පනය කරන ජීවිතයකදී ඇතිවිය ‘හැකි’ ප්‍රශ්න වලටයි.

ඔවුන්ගේ ප්‍රශ්නය මරණින් පසු ජීවිතයයි.

මරණින් පසු ජීවිත ගැන ඉගැන්වෙන ආගම් මොහොතකට පසෙක තැබුව හොත් තේරුම් යාවි,ප්‍රශ්නය වන්නේ මරණයවත්, මරණින් පසු ජීවිතයවත් නොව, මරණයට පෙර අප ගත කරනා අපගේ මේ ජීවිත බව. වටිනාකම ඇත්තේ මරණින් පසු එහා ලෝකයක නොව, මේ ලෝකයේ අපට ලැබී ඇති අප මේ ගත කරනා ජීවිත වල බව.

 

ප/ලි – ආගමික ඉගැන්වීම් පිළිබඳ මෙහි සඳහන් කරුණු පදනම් වන්නේ පොදු සමාජයේ ඒවා ගැන බහුලව භාවිතා වන අර්ථදැක්වීම් අනුව මිස, ඒ ඒ ආගම් වල නියම අර්ථදැක්වීම් යයි ඒ ඒ ආගමික බහුශ්‍රැතයන් අතර ඇතිවන ශාස්ත්‍රීය කතිකාවන් මත නොවන බව කරුණාවෙන් සලකන්න. මෙහි සඳහන් ආගමික ඉගැන්වීම් පිළිබඳ අර්ථ දැක්වීම් සාවද්‍යය යැයි යම් ආගමික බහුශ්‍රැත පඬිවරයෙක් සිතයි නම්, මා ඔහුට යෝජනා කරන්නේ එම තමන්ගේ ආගමේ නිවැරදි ඉගැන්වීම් පිළිබඳව තමන්ගේ ආගමිකයන්ව දැනුවත් කරන ලෙසය. ඒ පඬිතුමාගේ අර්ථ දැක්වීම පොදුවේ භාවිතා වන අර්ථ දැක්වීම බවට පත් වූ පසු ලියවෙන මෙවැනි සටහන් වල එම අර්ථ දැක්වීම ගැන ලියැවෙනු ඇත. මන්ද, මා උනන්දු යම් ආගමික පුස්කොල පොත් තුල ඇති දේවල සත්‍ය/අසත්‍යය භාවයට වඩා ඒ ආගමික ඉගැන්වීම් වල සමාජයේ භාවිතය ගැන නිසාය.

Advertisements

34 responses to “අනිත්‍යය ; ඔච්චරම අවුල්ද?

  1. බස් එක ඇතුලෙ ඉඳන් බස් එක තල්ලු කරන්න හෙන ට්‍රයි එකක් දීල තියනව
    අනිත්‍යය හරවත් වෙන්නේ ඔය විඳන්න කියල යන රසේ තමන් විසින්ම සකස් කර ගත්තු එකක් යැයි තේරෙන වටපිටාවක් තුලයි
    ධර්මය බාගෙට දැනගෙන ප්‍රස්න කරන්න යන්න එපා ඒවායේ සංකල්ප ප්‍රස්න කරන්න යන්න එපා. අඩියෙම ප.ලි. කියල තියන ස්ටෙට්මන්ට් එකෙන් ඔබට රැකවරණයක් ලැබෙන්නේ නෑ මොකද ඔබ ප්‍රස්න කරන්නෙත් ආගමික සංකල්පයක් නිසා. චුල්ල පන්ථක හාමුදුරුවන්ට දීපු රෙදිකඩේ තියෙන්නෙත් අපේ ගම්වල මිනිස්සු අනිච්චේ දුක්ඛේ කියල කම්මුලේ අතගහගන්නෙත් එකම කාරනාව තමයි.
    අතිත්‍යය කියන එක අවබෝධ කරගන්න යන මාර්ගයේ ගොඩක් පහල උපෙක්ෂාව කියල එකකුත් තියනව. සමහරු පෙරලුනු පිට හොඳයි කියන එකටත් උපේක්ෂාව කියනව (මඳහස් සිනා)

    දැන් මේ ලිපියෙ තියන වචන කිහිපයක් අරන් බලමු මෙයා යන බස් එක මොකක්ද කියල එතකොට තේරෙනව
    • වටිනාකම
    • ඒ අයුරින්ම
    • යථාර්තය
    • සැබෑ විසඳුම්

    Like

    • මම යන බස් එක මොකක්ද කියල වචන අල්ලගෙන උපකල්පනය කල යුතු නෑ. ඇහැව්ව නම් කෙළින්ම කියනවා, සැක හැර දැනගන්නම.

      මම මෙතන ප්‍රශ්න කරන්නේ ආගමික සංකල්පයක් කියනවට වඩා, ආගමික සංකල්පයක භාවිතාවක් කියල කියමු. එහෙම කිව්වම මගේ අරමුණ තවත් පැහැදිළි වෙනව. ඒ භාවිතාව ගැන ප්‍රශ්න කරන්නට මට ධර්මය ගැන උපාධි සහතිකයක්වත්, සෝවාන් වෙන්නවත් අවශ්‍ය නෑ.

      Like

    • දැක්කද පිංවතුනි මානය ඉස්සරහට එන හැටි 🙂
      සමරසේකර කියන “ඒහි පස්සිකෝ” නම් කාරණා හදාරා ප්‍රස්න කිරීමයි
      මගේ කමෙන්ටුව තෝරන්නේ නැතුව ඒකටත් උත්තර බඳිනව
      යන බස් එක කියල කීවේ ඊට උඩින් කියල තියන තමන් ඉඳන් තල්ලු කරන්න හදන බස් එක, එහෙම නැත්නම් තමන් හදාගත්තු සංස්කාර ලෝකයයි
      ඒක අචින්ත්‍යයි කියල හිතාගෙන ඉන්න එක අර වචන වලින් පැහැදිලි වෙන නිසයි ඒ වචන හයිලයිට් කලේ
      නිවටන් ගුරුත්වාකර්ෂණය කියල සංකල්පයක් නිපදවෙව්වම එක බාවිතා කරල රොකට් යවනව හඳට. ඇල්බට් (අමරදේව නෙමෙයි) එහෙම එකක් නෑ කිව්වම අර රොකට් බිමට වැටුනේ නෑ.
      එහෙනං (රනිල් වික්‍රමසිංහ කියනව වගේ) සංකල්පය ප්‍රස්න නොකර බාවිතාව විතරක් ප්‍රස්න කරන්න බෑ

      Like

    • සංකල්පය ප්‍රශ්න නොකර භාවිතාව ප්‍රශ්න කරන්නට පුළුවන්ද බැයිද කියන එක ගැන සඳහනක් කරන්නම්. [කමෙන්ටුවේ ඉතිරි කරුණුවල ප්‍රතිචාර දීමට තරම් වැදගත්කමක් නැති නිසා]

      මම කෙටි උදාහරණයකින් පැහැදිළි කරන්නම්. ඉස්ලාම් ආගමෙන් උදාහරණය ගන්නම්, මොකද යම් සංකල්පයකට දැඩි ලෙස ඇලී ඉන්නා අයට යමක් පැහැදිළි කිරීමට එම සංකල්පය තුළින් උදාහරණ ඉදිරිපත් කිරීමට වඩා, ඔවුන් ඇලී නොමැති වෙනත් සංකල්පයකින් උදාහරණ ඉදිරිපත් කිරීමෙන් හැකි නිසා.

      ඉස්ලාම් භක්තිකයන් විසින් ශුද්ධ වූ ග්‍රන්ථය යැයි අදහන කුරාණය තුළ සඳහන් පරිදි මුස්ලිම් ජාතිකයන්ට මත්පැන් භාවිතය තහනම් කොට ඇති බවයි ඔවුන් බහුතරයකගේ විශ්වාසය. බහුතරයකගේ විශ්වාසය එය වුවත්, සමහර මුස්ලිම්වරුන්ට අනුව කුරාණයේ තහනම් කොට ඇත්තේ යම් මිදි විශේෂයක් භාවිත කරමින් නිෂ්පාදනය කරනා වයින් වර්ගයක් පමණයි. හේතුව ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ කුරාණය ලියූ භාෂාව ගෙන කුරාණය ලියුවා යැයි සැලකෙන කාලයට ආදේශ කොට මෙ ගැන සිතා බැලූ විට ඒ කාලයේ එම වචනයෙන් හැඳින්වූයේ පොදුවේ මත්පැන් වර්ග නොව, එක් සුවිශේෂ වූ වයින් වර්ගයක් පමණක් වීම නිසායි.

      දැන් මෙතන මුස්ලිම්වරුන් අතරේ තියෙනවා කුරාණයේ ඉගැන්වීම ගැන වෙනස් අර්ථකතන දෙකක්. [මේ එක උදාහරණයක් පමණයි].

      නමුත් මා වැන්නෙක් සත්‍යය වශයෙන්ම කුරාණයට අනුව මත්පැන් භාවිතය තහනම් කොට ඇද්ද නැද්ද කියන කරුණ ගැන උනන්දු නෑ.

      මම උනන්දු, කුරාණයේ තියෙනවා යයි කියන ඒ ඉගැන්වීම මුස්ලිම්වරුන් සමාජයේ පොදුවේ භාවිතා කරන ආකාරය සම්බන්ධවයි.

      හෙට සිට යම් රටක මත්පැන් විකිණීම තහනම් කල යුතු යැයි මුසල්මානුවන් කියයි නම්, මම කුරාණයේ ඒ ඉගැන්වීමේ භාවිතාව ප්‍රශ්න කරනවා. ඔවුන්ගේ ඒ මානසිකත්වයට මුල් වූ හේතු සාධක ගැන මම අදහස් පළකරනවා, බොහෝ විට විවේචනයන් තුළින්.

      නමුත් කුරාණයට අනුව ඇත්තටම මත්පැන් තහනම්ද නැද්ද කියන එක මට අදාල, මම උනන්දු කරුණක් නෙමේ.

      මම ප්‍රශ්න කරන්නේ ඉස්ලාම් ආගම නැමති සංකල්පය නොව, ඉස්ලාම් ආගමේ අනුගාමිකයන්ගේ ඒ ආගමේ භාවිතය ගැනයි.

      මේ සටහනේද එසේමයි.

      යසලාලක ධර්මදේශකයානෙනි, මීටත් වඩා සරලව පැහැදිළි කල හැකි ක්‍රමයක් මා නොදනිමි. ඔබේ බුද්ධියට මේ පැහැදිළි කිරීම හසුකරගත හැකි වෙතැයි ප්‍රාර්ථනා කරමි.

      කමෙන්ටුවට ස්තූතියි.

      Like

    • “කමෙන්ටුවේ ඉතිරි කරුණුවල ප්‍රතිචාර දීමට තරම් වැදගත්කමක් නැති නිසා”
      😀 😀
      මදේ හලලා ලෙල්ලේ එල්ලෙන උදවියට විදාගම මෛත්‍රීය හාමුදුරුවන්ගෙම පිහිටයි
      “ඇම පමණින් පැවසු මුනි දැන තතු
      මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
      තම තම නැණ පමණින් දැන ගත යුතු
      මම නමදිමි සදහම් පහදා සිතු”

      Like

  2. ඔබේ අදහස් හා එකගයි.
    යම් ආගමක් අදහන එක හොදයි සමාජේ ආරක්ෂාවට. ඔබ කිවූ ආකරයට සමහර මිනිසුන් අනවශ්‍ය විදියට තමන්ගේ මුලු ජීවිතේ ම හිර කරගෙන ලෝකෙට පේන්න ජීවත් වෙනවා ඇතුලාන්තය හිස්ව. නොදැකපු මරණින් එතෙර ජීවිතයක් වෙනුවෙන් පව් ඉතින්
    ලෝකේ පුරා මිනිස් ඝාතන කරන ස්ලාම් ගෝත්‍රිකයන් විශ්වාස කරනවා ස්ලාම් නොවන මිනිහෙක් මැරුවොත් තමන්ට ස්වර්ගෙට යන්න පුලුවන් කියලා …එහෙ කන්‍යාවෝ 70 ක් බලන් ඉන්නවලුනේ එහෙම නොඇදහිලි කාරයෝ මරලා ස්වර්ගෙට එන ස්ලාම් භක්තිකයන්ට සැප දෙන්න. හි හි හි…

    Liked by 1 person

    • සමාජයේ ආරක්ෂාවට ආගමක් ඕනෑය කියන ප්‍රකාශය විවාදාත්මක ප්‍රකාශයක්. උදාහරණයකට මම දරන්නේ ඊට වෙනස් මතයක්. මගේ මතය හැටියට ආගම කියන්නේම මිනිස් සදාචාරයේ ධනාත්මක පරිනාමයට බාධාවක්.

      ආගම් කියන ඒවා ඒ ඒ කාලවල, ඒ ඒ සංස්කෘතීන් වලට යහපත් බලපෑම් ඇති කල බව ප්‍රතික්ෂේප කල නොහැකි ඇත්තක්. නමුත් දැන් 21වන සියවසට පා තබල තියෙන මිනිසා ඒ යුගයන් පහු කරලා, ආගම් වලින් ඉගැන්වූ සදාචාර සීමා තවත් දියුණු කරමින් ඉදිරියට ඇවිත්. ඒ වගේ තත්වයක් තුළ වසර දහස් ගනන් පැරණි සංකල්පයන් මත පදනම් වෙමින් වර්තමාන සමාජ සදාචාරයන් ගොඬනඟන්නට යන එක ඇති කරන්නේ ගතානුගතික බව සහ නූතනත්වය අතර ගැටුමක්.

      //එහෙ කන්‍යාවෝ 70 ක් බලන් ඉන්නවලුනේ එහෙම නොඇදහිලි කාරයෝ මරලා ස්වර්ගෙට එන ස්ලාම් භක්තිකයන්ට සැප දෙන්න//

      ප්‍රශ්නේ තියෙන්නේ ඒ කන්‍යාවියෝ 72ත් එක්කම නැන්දම්මලා 72කුත් නොමිලේම ලැබෙන එක. 😉

      Like

  3. ඔබේ වයම හොඳයි. ඒක තමයි බුද්ධ ධර්මයේ තිබෙන “ඒහි පස්සකෝ” ගුණය. ඒවා බලව කියන්නේ ඇවිල්ලා බලන්න කියන එක නෙමෙයි ධර්මය විභාග කර බලන්න කියන එක . බුද්ධ ධර්මයේ රහස් නැහැ.

    සියල්ල අනිත්‍ය කියන එකේ මට වැටහෙන අදහස නම් ඒවා පාරිභෝජනයෙන් වැළකෙන්න එපා කියන එක නෙමෙයි. නමුත් ඒවාට ඇලෙන්නේ නැතිව ඉන්න කියන එකයි. සැප හෝ දුක් යමකට ඇලුනොත් එතනින් උපාදානයක් (අල්ලාගැනීමක් ) ඇති වෙනවා. මේ අල්ලා ගැනීම නිසා හොඳ හෝ නරක සිතුවිලි ඇති වෙනවා.භවාංග සිතුවිලි කියන්නේ ඒවාට. මේ භවාංග සිතුවිලි වලින් ඊළඟට උපදින භවය තීරණය වෙන අතර, අපේ සිත තුල ඇතිවෙන අවසාන සිතට (චුති චිත්තයට) අනුව ඊළඟ උත්පතිති සිත ඇති වෙනවා. අපි හැම වෙලේම හොඳ හෝ නරක දෙයකට අලුනොත් එයම හැම වෙලේම මතක් කර කර සිටියොත් එ අරමුණම අපේ අවසාන සිතට ඇතුල්වීමට ඇති ඉඩකඩ වැඩියි.

    බුදුන් වහන්සේ අනිත්‍ය දේශනා කලා උනත් සැප හෝ දුක් දේවල් වලට නොඇලී ඒවා ඉවසුවා. පාරිභෝජනය කළා. උන්වහන්සේ බුද්ධත්වය ලබා ගතකල වසර 45න් 19ක්ම වදවාසට කලේ සැවැත් නුවර ජේතවනාරාමයේ. මේ ඉඩම අනේපිඩු සිටුතුමා මිලට ගත්තේ මුළු බිම පුරා කාසි අතුරලා එහ මිලවූ කහවනු 800,000.00 කට . තවත් ඒවගේම මුදලක් වැය කරලා ගොඩනැගිලි හැදුවා. බුදුන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා එය පරිහරණය කලේ ඇලීමක් නැතිවයි. ඒ සිතුවිල්ලෙන්ම වෙන ස්ථානයකට නොගොස් අශ්වයන්ගේ කෑමට තිබු යව ධාන්‍ය කොට සැකසු කැඳ පමණක් පානය කරමින් උන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා තෙමසක් ගත කළා. සැපයේදී හෝ දුකේදී ඒ දෙකටම නොඇලුනේ අනිත්‍ය ධර්මය නිසයි.

    සමරසේකර

    Like

    • කමෙන්ටුවට ස්තූතියි මහත්මයා. ඕනෑම ආගමක්ම මිනිසුන් කියවන්නේ සහ භාවිතයට ගන්නේ තම තමන්ගේ නැණ පමණින්. ඒ ඒ ග්‍රන්ථ ගැන ඔවුන්ට ඇත්තේ පුද්ගලානුභද්ධ කියවීම්. ඔවුනොවුන් අතර ඒවායේ හරි වැරැද්ද කතිකාවත් තියෙන එක වෙනම කතාවක්.

      මේ සම්බන්ධව ඔබේ කියවීම අප සමඟ බෙදා ගැනීම ගැන ස්තූතියි.

      Like

  4. සතුට අනිත්‍යයයි ලූ, එවුනාට දුකනං නිත්‍යයයිලු. පිස්සු නේහ්.

    ඔය සියළු රසයන් අනිත්‍ය වෙච්ච එකට නං මම සතුටුයි, හිතන්නකෝ ඊයේ කාපු අයිස් ක්‍රීම් එකේ රස නිත්‍ය වුනනම්, අලි අවුලයිනේ ආයේ අයිස්ක්‍රීම් කන්න වෙන්නේත් නෑ, අයිස්ක්‍රීම් වෙළෙන්දොත් බංකොලෛාත්.

    Liked by 1 person

    • @ ඇනයා
      ඔබ මා ලියු දෙය හරියටම වටහා ගෙන නැහැ.ඒක පුදුමයක් නෙමෙයි.සංකීර්ණ කාරණයක්.එක වරම වැටහෙන්න නම් අදාළ තැනැත්තාට සියුම් නුවණක් තියෙන්න ඕනෑ. එහෙම නැති කෙනා වටහා ගැනීමට විශේෂ වැයමක් දරන්න ඕනෑ. ඒකනෙ බුදුන් වහන්සේ කියා ඇත්තේ මගේ ධර්මය ගෝචර වන්නේ ප්‍රඥා වන්තයාට පමණි කියා.

      Like

      • සමාවෙන්න සමරසේකර මහත්තයා, උඩ තියන මගේ කොමෙන්ටුව ඔබට ලිවූ පිළිතුරක් නොවේ, මා ඔබේ කොමෙන්ටුව දැක්කේ පසුවයි.

        Like

  5. නිර්ආගමිකයන් යයි කියාගන්න පිරිසකුත් ඉන්නවානේ. නමුත් ඒ කවුරුවත් කිසිදු සැකයකින් තොරව ඔප්පු කරලා නැහැ, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍යය, අටලෝදහම, බොරුයි කියලා.

    ඒ වගේම තවත්දෙයක් කියන්න තිබෙනවා. ඔබ බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් එකට මාරුවීම නිසා, දැන් මෙහි කමෙන්ට් කරන්නේ, ඇත්තටම ඒ සඳහා උනන්දුවක් තිබෙන අය පමණයි. ඒ වගේම, නිර්නාමිකයන්ට, වර්ඩ්ප්‍රෙස් කියන්නේ, නයාට අඳුකොළ වගේ.

    ජයවෙවා1

    Like

    • සැකයකින් තොරව ඔප්පු කිරීම; විද්‍යාත්මක ක්‍ර‍මයේදී නම් ආගමික විශ්වාසයන් ගේ සත්‍යතාවන් විචාරයට බඳුන් කරන්නේ නැහැ, අනෙක විද්‍යාත්මක‍ ක්‍රමයේදී සැකයකින් තොරව මොකුත්ම ඔප්පු කරන්නේත් නෑ, ඔය ‘සැකයටත්‘ පොඩි චාන්ස් එකක් දෙනවා; ‘… බව 99.5%ක නිරවද්‍යතාවක් ඇතුව ඔප්පුකරන ලදී‘ වගේ, එතකොට ඉතිරි 0.5% සැකයාගේ වාසියටයි.

      Like

      • ත්‍රිලක්ෂණය ගැන ඉගෙන ගන්න මම විකිපේඩ්යා ගියා;
        —————————————————–
        Dharma Wheel.svg
        – ත්‍රිපිටකය/බුදු දහම වෙනස්කල නොහැක.
        -පහසුවෙන් වෙනස්කලහැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කල හැක.
        – ත්‍රිපිටකය ලබාදෙන විකිමූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිලිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක්කරමු.
        – බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු.
        – ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු !
        ———————————————————–
        වැඩේ ලේසි නෑලූ.

        Like

      • @ඇණයා

        ඔව්. විද්‍යාත්මක ක්‍රමයෙන් මුකුත්ම ඔප්පු කරන්න බෑ කියන එක ඇත්ත. ඔප්පු කිරීමේ සීමා යටතේ කතා කලත් යම් සැකයකට ඉඩ ඉතිරි වන බවත් ඇත්ත. නමුත් ඉන් කියවෙන්නේ නෑ ඒ කුඩා ‘ඉඩ’ අපේ ප්‍රියතම සුරංගනා කථා වලින් පිරවීම සාධාරණ බව. සහ ඒ කුඩා ඉඩ නිසාම ඕනෑම දෙයක් සත්‍යය විය හැකි ලෙස පිළිගත යුතු බව.

        බොහෝ අය කරන්නේ ඔය කුඩා ‘ඉඩ’ අස්සට තමාගේ ඔප්පු කල නොහැකි මිත්‍යා විශ්වාස පුරවලා ලෝකේ තියෙන ඕනෑම මනස්ගාතයක් කරේ තියාගෙන ඉන්න එක. ඒ වගේ අය වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. මුකුත් කල යුතුත් නෑ. ඔවුන් ඔවුන්ගේ මිත්‍යා විශ්වාසත් එක්ක ජීවත් වෙලා ඒ මිත්‍යා විශ්වාසත් එක්කම මැරිලා යාවි. ඉතිහාසයේ ඉඳලම වුනේ ඒකයි. අදත් වෙන්නේ ඒකමයි. හෙටත් ඒක එහෙමම වේවි 🙂

        Like

    • අනික් දේවල් වගේ ආගම් සහ දර්ශනය අන්තර්ජාලයෙන් ඉගෙනගන්න බැහැ. අද පරපුර උවමනාවට වඩා විශ්වාස කරනවා අතර්ජාලයෙන් සියල්ල කලහැකියි කියා. ඉතා හෙමින් පියවරෙන් පියවර ධර්මය ඉගෙනගන්න ඕනේ. ඒ සඳහා හොඳ ධර්මධර භික්ෂූන් වහන්සේ නමකගේ මගපෙන්වීම, ශික්ෂණය ලබාගැනීම, අවශ්‍යයි.

      Liked by 1 person

      • විචාරක තුමනි, මට බෞද්ධ ශික්ෂණයක් ලබා ගැනීමට අවශ්‍ය නෑ, මගේ උත්සාහය වුනේ ඔබ සඳහන් කළ බෞද්ධ මූල ධර්ම මොනවාද කියා කෙටියෙන් අවබෝධ කරගැනීමටයි (පුංචි කාලේ කටපාඩම් කෙරෙව්වට මතක හිටලා නෑ).
        ඒනිසා ඔබ නිර්දේශ කරන ක්‍රමය මට ගැලපෙන් නෑ.

        Like

    • @විචාරක Wicharaka
      ඒ වගේම කවුරුත් ඔප්පු කරලා නෑ අල්ලා, ඇපලෝ, හෝරස්, යොහෝවා වැනි දහස් ගණන් දෙවිවරුත් බොරු බව 🙂

      උවමනාවක් ඇති නිසාම පළ කෙරෙන කමෙන්ටු වලින් සෑහීමකට පත් විය හැකියි. බෙදා ගැනීමට තරම් නොවටිනා අදහසක් සහිත කමෙන්ටුවක් නැතිවී යාම ගැන කණගාටුවක් නැහැ.

      අපි වගේ අය ව්‍යාජ නම් වලට වසන් වී ලිව්වත් සයිබරයේ අපටත් තියෙනවා අනන්‍යතාවයක් ආරක්ෂා කරන්න. ඒකයි සමහර විට ඇත්ත නම් වලින් ලියන අයට වඩා සීමා සහිත විදියට, වැදගත් විදියට සමහර ව්‍යාජ නම් වලින් ගෙනයන ප්‍රරොෆයිල් හැසිරෙන්නේ. නිර්නාමික කමෙන්ට් හෙවත් ඇනෝ කමෙන්ට් කියන්නේ එහෙමවත් සීමාවක් නැති අය. ඒ වගේම නිර්නාමික කමෙන්ට් නැතිවී යාමෙන් වෙන්නේ නරකකට වඩා හොඳක්.

      Like

    • ඔය විද්‍යාවෙන් ඔප්පු කිරීම ගැන මට හිතෙන්නෙ මෙහෙමයි

      මම දන්න විදියට විද්‍යාවෙන් යම් කිසි දෙයක් “බොරු”ය “නැහැ”ය කියල ඔප්පු කිරීමක් කෙරෙන්නේ නැහැ. යම් දෙයක් “තියෙන” බව ඔප්පු කිරීමක් තමයි කරන්නේ. ආලෝකය විශාල ස්කන්ධයන් ලඟදි නැවෙන බවට අයින්ස්ටයින්ගේ නියමයක් තිබුනා, ආතර් එඩිංටන් විසින් ඒ ගැන පරීක්ශනයක් අටවලා එහෙම එකක් තියෙන බව ඔප්පු කලා. ලෝකය විසින් නියමය පිලිගත්තේ එදා සිටයි. (යමක් “නැති” බව ඔප්පු කරන්න පරීක්ශනයක් ඩිසයින් කරන්න බැහැ! මම හරිද බන්ඩා? )

      ඉතින් විචාරක කියනවනම් ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍යය, අටලෝදහම හරියි කියලා, සාධාරන විදිය තමයි විචාරක හරි, බෞද්ධ අනුගාමිකයෙක් හරි, ඒගැන උනන්දුව තියෙන කෙනෙක් හරි ඒ දේවල් විද්‍යාවෙන් හරි වෙනත් මොකක් හරි පිලිගන්න පුලුවන් ක්‍රමවේදෙකින් හරි ඔප්පු කරලා ලෝකයට පෙන්වන එක. එතකොට තමයි ඒ ගැන නොදන්න අයට (මේක සාමාන්‍යයෙන් මේ වාදයේදී සියුම්ව දමා ගසන ආයුධයක්!) පිලිගන්න පුලුවන්. උදා. විදියට සීකේඩීයූව හැදෙන්නෙ ආසනික් හින්දයි කියල යමෙක් කියනවානම් ඒක ඒ කියන කෙනා / පාර්ශවය විසින් ඒ බව ඔප්පු කල යුතුයි. එහෙම නැතුව එයාට කියන්න බැහැනේ ආසනික් හින්ද නෙමෙයි කියල කවුරුවත් ඔප්පු කරල නැති නිසා ඒක පිලිගන්න කියලා..

      විචාරකම උනත් අල්ලා, දෙවියන් වහන්සේ “නැහැ” කියන්නේ, ඔවුන් “නැති” බව කවුරුවත් ඔප්පු කරපු හින්දා නෙවෙයිනේ?

      Liked by 1 person

    • @damien
      ඩේමියන්ගේ අදහස එක්ක එකඟයි. ඔප්පු කිරීමේ වගකීම (burden of proof) පැවරී ඇත්තේ යම් සංකල්පයක් ඉදිරිපත් කරන්නා මතයි.

      “මම කියනවා නම් මගේ උරහිස උඩ මගේ මියැදුන සීයාගේ අවතාරය වාඩිවී ඉන්නවා, ඒ අවතාරය කියන අන්දමට ඔබ ඔබගේ බිරිඳව දැන්ම දික්කසාද නොකලොත් මහා විනාශයක් මුළු රටටම වෙනවා”.

      කියල.

      මගේ උරහිසේ මගේ මියගිය සීයා නැහැයි කියන එක කාටවත් ඔප්පු කල නොහැකි නිසාම, කවුරුත් තම තමන්ගේ බිරින්දෑවරුන්ව දික්කසාද කරන්න යන්නේ නෑනෙ. යම් අධිසාමාන්‍යය ප්‍රකාශයක් මා විසින් කරනවා නම් එය ඔප්පු කිරීම මා සතු කාර්‍යක් මිසක, අන් අය එය අසත්‍යය යැයි ඔප්පු කල යුතු නැහැ.

      Like

  6. තමව ඔබේ පොස්ටුව සම්පූර්ණයෙන් ජීරණය කරගත්තේ නෑ, ඒත් මගේ සමහර දේවල් ගැන මට ඇති අදහස් හා සමානතාවක් මා දකිනවා.

    සමහර විට බුදුහාමුදුරුවෝ ඒකාලේ මේ අනිත්‍ය බන කියන්න ඇත්තේ එයාගේ ගිහි කලෙග්ලට වෙන්න පුළුවන්, ඒ කියන්නේ රජ / ඇමති කුමාර වරුන්ට අර අපේ නායකයන්ගේ කුමාරයෝ වගේ සැප සම්පත් අනූනව පිස්සුම කෙලින සෙට් එකට වෙන්න පුළුවනි. මොකද ඔය කලාතුරකින් තැනක දුගී ජනයාට බන කියලා තිබ්බාට අනික් හැම තැනදීම රජ /සිටු/ බමුණු/ කුල… ලාවමනේ ඇඩ්‍ර‍ස් කරලා තියෙන්නේ.

    මං වගේ මීටර් අවුල් එවුංට කියලා තියෙන්නේ උන්නාන්සෙගේ ධර්මය අවබෝධ කරගැනීමට බුද්ධියක් තියෙන්ට ඕනෑ කියලාලු, ඒවග ඔය සමරසේකර මහත්තෙයාත් උඩදී පෙන්නාදී තියෙන්නේ. මට නං ඒක රජ්ජුරුවන්ගේ නොපෙනන සීතාම්බර සළුව වගේ කතාවක් කියලායි හිතෙන්නේ.

    මට මැරිච්ච අපභ්‍ර‍ශ භාෂාවල් තේරෙන්නෙත් නෑ, මට ඒවා තේරුංගන්න අවශ්‍යත් නෑ. ඒවා දන්න කියන උගත්තු කියන කාරනා කාරනාවල් ජීරණය කරගත්තාම මගේ මොට්ට බුද්ධියට සරල විදිහට තේරෙන්නේ මේ මෙහෙමයි; බුද්ධාගම අදහන මිනිස්සු මැරෙනවාය යලි උපදිනවාය, මිනිස්සු කරන කර්මය මතු ආත්මයේ ස්ටේටස් එකට බලපානවාය, හැබැයි එහෙම වෙන්නේ සත්‍ය අවබෝධ නොකරගත් අයටය. සත්‍ය අවබෝධකරගත් අයට ( නිවන්) ඔය අවුල නැත එයාලාට නැවත උපදිනවා කියන සංකල්පය වලංගු නැත.

    කර්මයක් බදාගෙන නැවත නැවත උපදින කරුමක්කාරයන්ට තවම සත්‍ය අවබෝධව නැත. දිවියලෝකේ යන්න අවශ්‍ය නම් මේ ලොකේ දිවිය ලෝකයක් කරගනිමු.

    Liked by 1 person

    • ඇනයා,
      ඔබ වැදගත් මංසන්ධියකට ඇවිල්ලා. බුදු දහම කියන්නේ වැරදි සෙවීමේ එකම පරමාර්ථයෙන් ධර්මය විමසන්න එපා කියලයි. මොකද දෘෂ්ටිය වැරදි උනාම බලන හැම එකක්ම පෙනෙන්නේ වැරදියට වගෙයි. සිදුහත් කුමාරයා ගිහි ගෙයින් නික්මුනේ කලකිරීම නිසයි. ඒක එක අන්තයක්. ශරීරය පිනවා ඉන් සතුටක් ලැබුනත් අවසානයේදී ඇතිවෙන්නේ කලකිරීමක් බව අදත් බටහිර සැප සම්පත් ඉහලින්ම විඳින සමහර තරුණයෝ පවසනවා ඔබ අසා ඇති.
      සිදුහත් තවුසා දෙවනුව තෝරා ගත්තේ අනෙක් අන්තය වන ශරීරයට දුක් දීමෙන් සැනසීම ලඟා කරගන්න. එතුමා වසර 6ක් ම ඒක කළා. අවසානයේ ඉන් ප්‍රතිඵලයක් නැති තැන සරීරයට දැඩි සැපක් දෙන්නෙත් නැති ශරීරයට දැඩි දුකක් දෙන්නෙත් නැති මැද මාවත තෝරා ගත්තා . බුදු දහමේ හරය තියෙන්නෙ මේ මැද මාවතෙයි.
      ඔබට මෙන්ම මටත් පාලි බැහැ.ඒක අපි දෙන්නාම ලබපු අධ්‍යාපනයේ අඩුපාඩුවක්.
      බුදුන් වහන්සේ දෙසු සුත්‍ර 82000ක් සහ ශ්‍රාවක සංඝයා වහන්සේ දෙසු සුත්‍ර 2000ක් එකතු වෙලා හැදුනු ත්‍රිපිටකය අන්තර්ජාලයේ පාලියෙන් සිංහලෙන් හැ ඉංග්‍රීසියෙන් තියෙනවා . අපට පාලි බැරි උනත් සිංහල හා ඉංග්‍රීසි පුලුවන්නෙ. එබැවින් ත්‍රිපිටකය අන්තර්ජාලයෙන් කියවීම අරඹන්න. අපහසිලි තැන ඇතිවෙන එක ස්වාභාවිකයි. එත කොට තමා දන්නා අයෙක්ගේ සහාය ඕනෑ වෙන්නේ.
      මා මෙටික ලිව්වේ ඔබේ දැන් තියෙන දෘෂ්ටිය නැති කරන්න නම් නොවේ. ඒක ඔබම තියා ගන්න.
      බුද්ධ යුගයේදී අඩු වැඩි ලෙසින් සියලු ලෝ වැස්සන්ට මරණය ලොකු ප්‍රශ්නයක් වෙලා. තිබුන. සමහරු කිව්වා මරණයෙන් පසු සියල්ල අවසන් කියල.සමහරු කිව්වා මරණයෙන් පසු ස්වර්ගයට ගොස් එතැනදී සදාකාලිකවම් ජිවත් වෙනවා කියල .ජයින මහාවිර තුමා කිව්වා විඳීමෙන් කර්මය ක්ෂය කර නිවන් දැකිය යුතුය කියා. මෙහෙම මත 62ක් තිබිලා තියෙනවා. මේ මත ගැනත් කියවා බලන එක හොඳයි.
      සමරසේකර

      Liked by 1 person

  7. රසට කන්ඩ එපා.. රස දෑනුනම සසර දික් වෙනවා. 😯අනිත්යයි.. මූන සොදන්න එපා.. ලස්සනට ඉන්න එපා.. ඔක්කොම අනිත්යයි… ගෑහෑනු රුපෙ ලස්සන තියෙන්නෙ විදින්න.. එකෙත් බඩ බොකුවෑල් බලපල්ලා අනිත්යයිලු😂😂.. ඇත්තටම මානසික ලෙඩ්ඩුන්ගෙන් වෑඩි හරියක් පිරිච්ච රටක් බන් මෙක…

    Liked by 1 person

    • ඔය බොකු බඩවැල් ශෙයාර් කරන අය ගැන මම ටික දවසකට කලින් ලිව්ව අදහසක්.

      {{සියලු දේ අනිත්‍යයිය, ජීවිතය දුකක්ය කිය කිය කුණු වුන මළමිනී වල පින්තූර, කපලා විවෘත කරපු මළමිනීවල පින්තූර ශෙයාර් කරන මානසික අසහනකාරයන්ට මේ කියන්නෙ,
      යකුනේ, ජීවිතේ අනිත්‍යයිය කියල තේරුම් ගන්න නම් කුණු වෙච්චි මළමිනියක් දකින්නම ඕනෙද? කපපු මස් ගොඩවල් වල පින්තූර ශෙයාර් කරන්න ඕනෙද?
      සාමාන්‍ය දැනීම කියල දෙයක් අහල තියෙනවද?
      අපේ ශරීරය කවදා හරි කුණු වෙනවා තමා. නමුත් ප්‍රියමනාප පෙනුමක් තියෙන, ආකර්ශණීය (කුණු නොවුන) ශරීර වලට ස්වභාවයෙන් මිනිසා තුළ ඇතිවන ආකර්ශනය කුණු වුන ශරීරයක් පෙන්නලා නැති කරන්න පුළුවන් කියලද හිතන් ඉන්නෙ?
      මොළේ තියෙන්නේ කොහේද ? පුකේද?
      අපි කෑම කද්දි කෑම එක කන්න අපිට පිරියාවක් තියෙන්න ඕන. ඒක තීරණය වෙන්නේ කෑම එකේ රසය, ස්වභාවය, පෙනුම, ගන්ධය වගේ දේවල් අනුව. අපට කෑම එකේ රසයයි සවභාවයයි අනුව කෑම දැක්කාම පිරියක් ඇතිවෙන එක ස්වභාවිකයි. ඒ ස්වභාවික බවේ කිසිම වැරැද්දක් නැහැ.
      දැන් ඕක ඔහොමයි කියල, කෑම එකක් කට ඇතුලට දාලා දත් වලින් විකලා විකලා, කටේ තියෙන කෙළ එක්ක මිශ්‍ර වෙලා, බඩට ගිලින්න කලින් ඒක අප්‍රසන්න තලියක් බවට පත් වුනාය කියලා,
      කෑම දැක්කාම එන පිරිය තේරුමක් නැති හැඟීමක්ය කියලා ඒ තලියේ ෆොටෝ ශෙයාර් කරලා හරියනවද ?
      කෑම එකක් දැක්කාම නිරෝගී මනුස්සයෙක්ට එන හැඟීම වගේම තමා, ප්‍රියමනාප මනුස්සයෙක් දැක්කාම එන හැඟීමත්.
      දැන් මෙතන වැඩියෙන්ම ප්‍රශ්නය වෙලා තියෙන්නේ ස්ත්‍රී ශරීරයනෙ,
      ස්ත්‍රී ශරීරය ඇතුලේ තියෙන්නේ මොනවගේද? මියගිය ස්ත්‍රී ශරීරය දින කීපයක් ගියාම මොන වගේ තියෙයිද?
      වගේ දේවල් ගැන දැනුමක් සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් කියල නොසැලකෙන දරුවන්ට පවා තියෙනව.
      උඹලට ස්ත්‍රී ශරීර එක්ක ඔච්චරම අවුලක් තියෙනවා නම්, කුණු වෙච්චි මළමිනී වල පින්තූර රටේ ලෝකේ මිනිස්සුන්ට බලෙන් පෙන්නන්න යන්නේ නැතුව රාමු කරලා තම තමන්ගේ කාමර වල ගහගනියව්.
      ස්ත්‍රී ශරීරයේ සැබෑ ස්වරූපය කියලා එකක් නැහැ. උඹලගෙ ආගමේ හැටියටත් නැහැ. තියෙන්නේ එක එක තත්වයන්. දැන් ඔය තත්වයන් වලින් තියෙන අප්‍රසන්නම ස්වරූපය, ස්ත්‍රී ශරීරයේ සැබෑම තත්වයය කියලා හැම වෙලේම අනෙක් අයට මතක් කරන්න ඕනේය කියලා කාටහරි හිතෙනවා නම්, ඌට මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවා කියල හිතෙන එක සාධාරණ නැද්ද?
      කරුණාකරල තේරුම්ගන්න, අන්තර්ජාලයේ මුහුණු පොතට එන්නේ මිනිස්සු ලෝකයේ තියෙන කුණුවෙච්චි මළමිනී, තුවාල, පණුවො ගහපු මිනිස්සුන්ගේ පින්තූර බලන්න නෙමේ. කරුණාකරලා සමාජ ජාලයක කටයුතු කරද්දි අනුගමනය කරන්න ඕන සදාචාරයක් කියල දෙයක් තියෙනව කියන එක තේරුම් ගන්න.
      පියවි සිහියෙන් ඉන්න මිනිස්සු මැද්දට ඇවිත් තමාගේ අසහනය පිට කරගන්න හදන්න එපා.
      කාලකණ්ණියෙක් වෙන්න එපා. මූසලයෙක් වෙන්න එපා. අපතයෙක් වෙන්න එපා.
      අනිත් අයට ප්‍රියමනාප මනුස්සයෙක් වෙන්න.}}

      Liked by 1 person

  8. @ wmks98 says:
    January 5, 2016 at 7:21 am
    සමරසේකර මහ.ානෙනි,
    /ශරීරය පිනවා ඉන් සතුටක් ලැබුනත් අවසානයේදී ඇතිවෙන්නේ කලකිරීමක් බව අදත් බටහිර සැප සම්පත් ඉහලින්ම විඳින සමහර තරුණයෝ පවසනවා ඔබ අසා ඇති./ ඩ්‍ර‍ග්ස් ගන්න අයට නම් ඔහොම අවුලක් තියනවලු, ඇරත් බටහිර සම්පත් ඉහලින්ම විඳින තරුණයෝ කියන්නේ කවුද? සෙලෙබ්‍රිටිස්ලා, කුවේරයන්ගේ දරුවෝ, සිද්ධාර්ත ගෞතමගේ ටයිප් එකේ අයම නෙවෙද?

    මම දන්නා බහුතරයක් බටහිර තරුණ තරුණියෝ නම් ආගමක් අදහන්නේ නැති ස්තානෝචිත ශික්ෂනයක් ඇති ජීවිතය විඳින අය. රුසියාව වගේ තැන්වල තරුණයෝ ආගම් ඇදැහීමට නැඹුරුවක් තියනවා, අපේ රටවල වගේ.

    ඔබ කිවූ මූලාශ්‍ර‍ කියවීමට ආසාවක් තියනවා, එත් පැන්ෂන් යන කාලයේදී ඉට වඩා සරල දේවල් කියවන්න තියේවී නේ එතකොටම කියවනවා.

    Liked by 1 person

  9. දුක්ඛ, අනාත්ම අමතක වෙලා. එක්කෝ දන්නේ නැහැ. බාගෙට දැනගත්තම ඔහොම වෙනවා.

    Like

    • මම මෙතන ප්‍රශ්න කරන්නේ ආගමික සංකල්ප වලට වඩා, ආගමික සංකල්ප වල භාවිතාව ගැන. ඒ භාවිතාව ගැන ප්‍රශ්න කරන්නට මට ධර්මය ගැන උපාධි සහතිකයක්වත්, සෝවාන් වෙන්නවත් අවශ්‍ය නෑ.

      Like

  10. ජේමිස් බණ්ඩා,
    ඔබට අවශ්‍ය වෙලා තියෙන්නෙ අනිත්‍ය සංකල්පය ගැන කතා කරන්න නෙමෙයි ඒ සංකල්පය සමාජයේ භාවිතා වෙන ආකාරය ගැන සාකච්චා කිරීමටයි.මා ඔබගේ අදහසට එකඟයි. හැබැයි භාවිතයේ හොඳ නරක අඳුනා ගන්න නම් පළමුව සංකල්පය හරියට දැන ගෙන ඉන්න ඕනෑ.. මා මැනවින් දන්නේ බුදුදහමේ තියෙන අනිත්‍ය සංකල්පය ගැන විතරයි. ජෛන මහාවිර තුමාගේ අනිත්‍ය සංකල්පය ගැන ටිකක් දන්නවා. මට සිතෙන අන්දමට ඔබ බුදු දහමේ දැක්වෙන අනිත්‍ය සංකල්පය නිවැරදිව දන්නේ නැහැ. ඒක නොදැන භාවිතය හොඳද නරකද කියලා සාකච්චා කරන්නේ කොහොමද?
    ඔබ පළමුව බුදුදහමේ අනිත්‍ය සංකල්පය කියවෙන .ත.චක්ක සුත්‍රය කියවා ඉන්න. ත්‍රිපිටකය අන්තර්ජාලයේ පාලියෙන්,ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් තියෙනවා.මුළු මහත් ත්‍රිපිටකයම කියවන්න උවමනා නැහැ.. ත්‍රිපිටකයේ මධ්‍යම නිකායේ තුන්වෙනි පොතේ තමයි ත.චක්ක සුත්‍රය තියෙනවා..
    මේක කියවෙව්වා කියල ඔබේ නිර්-ආගමික දෘෂ්ටියට මොකුත් වෙන්නේ නැහැ. ඇනයා කියනවා වාගේ මේක කියවන්න විශ්‍රාම යන කල් ඉන්නම් ඕනෑ නැහැ. සියලුම දෙනාගේ මරණය සිදුවෙන්නේ සහ අතපය වලංගු නැතිව අසරණ වෙන්නෙ මහලු වියට පත් උනාම විතරයි කියල ලෝක නියමයක් නැහැනෙ .
    ඔබ සමග සාකච්චා කරන කොට මටත් මොනවා හරි ඉගෙන ගන්න පුළුවන් නිසයි මෙහෙම ලියන්නෙ.
    සමරසේකර

    Liked by 1 person

    • සමරසේකර මහත්මයා,

      සංකල්පය ගැන ප්‍රශ්න නොකර භාවිතය ගැන ප්‍රශ්න කිරීම ගැන මීට උඩින් යසලාලක මහතා විසින් අසන ලද පැනයට ඉස්ලාම් ආගමෙන් උදාහරණයක් ගෙන පිළිතුරක් දුන්නා. කරුණාකර, හැකි නම් ඒ පිළිතුර කියවන්න. එවිට මම කියන්නට උත්සාහ කරන දේ ඔබට තේරුම් ගන්නට හැකිවේවි.

      //ඔබ බුදු දහමේ දැක්වෙන අනිත්‍ය සංකල්පය නිවැරදිව දන්නේ නැහැ.//

      මේ ගැන යම් අදහසක් තිබ්බත්, ඒ අදහස නිවැරදි අදහසද කියන එක තහවුරු කරගන්නට දැනට උවමනාවක් නෑ. අනික, කිසිම මතයකින් හෝ අදහසකින් මගේ නිරාගමික දෘෂ්ඨිය හෝ වෙනයම් අදහසක් අභියෝගයට ලක් වනවාට, වෙනස් වනවාට මගේ කිසිම අකමැත්තක් නෑ. කොටින්ම මගේ අදහස් අභියෝගයට ලක් වනවාට මම අකමැති කෙනෙක් වුනා නම් අද මම නිරාගමිකයෙක් බවට පත් වෙලා ඉන්න එකකුත් නෑ.

      ඔබ කිව්ව විදියට ඔබේ නිර්දේශයන් කියවන්නම්, කාලය ලැබෙන විදියට. නමුත් ගැටළුව, කියවන්නයි, බ්ලොග් ලියන්නයි තියෙන්නේ ඉතාම අඩුකාලයක් වීම. අනික මට නිදහස්ව ඉන්න ලැබෙන ඒ අඩු කාලයේ කියවීම පිණිස දැනටමත් සෑහෙන ලිපි සහ පොත් පත් ගොඩ ගැහිල තියෙන්නේ. මම උනන්දු විෂයන් ගැන. හැකියාවක් ලැබුන කාලයක මේ ගැනත් කියවන්නම්.

      ඔබේ හොඳ චේතනාව පැහැදිළියි සමරසේකර මහත්මයා. දිගටම බ්ලොග් අඩවිය හා එකතුව ඔබේ අදහස් පළ කරන්න ආරාධනා කරනවා. ස්තූතියි.

      Like

  11. ජේම්ස් බණ්ඩා මහතා,
    ඔබගේ උත්තරයට ස්තුතියි. ඔබේ උත්තරය නැවත මුළු blog එකම කියවා ඔබ අදහස් කරන්නේ මොකක්ද කියා මා නැවත බැලුවා. මා මාකරන ආකාරයටම ඔබත් කල යුතුය කියා සිතා ඔබට උත්තර ලියා තිබුන බව මට පැහැදිලි උනා.මා නම් කරන්නේ ගැටලුව ඇති තැන හොඳින් විමසීමයි. එසේ නොකර වෙනත් විකල්ප තිබෙන බව ඔබ පැහැදිලි කළා.
    ඔබ ත චක්ක සුත්‍රය කියවන්න උවමනා නැහැ.ඒත් මා ඒ ගැන කුතුහලයක් ඇති කල නිසා මට වැටහුන ත චක්ක සුත්‍රය මගේ blog එකේ පල කරන්නම්. ඒක මේ සමහර විට බ්ලොග් අවකාශයේ ඉන්නා අනෙක් අයට ඒගැන සංවාද කිරීමට උදව්වක් වේවි.
    මා සිතන්නේ නිර් -ආගමිකයෙකු වන ඔබ ඔබේ මරණයෙන් පසු ඉදිරියට යන සිතක්,හෝ ආත්මයක් ගැන විශ්වාස නොකර මේ ජිවත්ව සිටින ලෝකය මැනවින් වින්දනය කලයුතු යයි සිතන අයෙක් කියාය. එවැනි දැක්මක් (දෘෂ්ටියක් ) ගත්තවුන් බුදුන් වහන්සේගේ කාලයේදීද සිටි බව ම පොත් පත්වලින් කියවා තිබෙනවා. එබැවින් ඔබේ දැක්ම ගැන මගේ අහිතක් නැහැ. මා වැරදි නම් නිවැරදි කරන්න.

    මට ඔබෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය ඔබ ඉපදුනේ කෙසේද කියා සිතන ආකාරයි. දේව ආගම් වල මිනිසා දෙවියන්ගේ මැවීමක් කියා සඳහන් වෙන අතර අවසාන විනිශ්චය දෙවියන් වහන්සේ විසින් කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වින්දිතයා සදාකාලික ස්වර්ගයට හෝ සදාකාලික අපායට යන බව දැක්වෙනවා.
    මගේ ඉපදීම ගැන මා සිතන්නේ එය දේව මැවීමක් නොවන බවය.මා නොදන්නා වෙන තැනකින් ඉවත්වූ සිත (චුති චිත්තය) මව්පියන් දෙදෙනාගේ එක්වීමෙන් බිහිවූ මුලික කළලය තුලට බැසගත් බවය.(ප්‍රතිසන්ධි චිත්තය) එතැන් පටන් සිතේ ඇතිවෙන සිතුවිලි භවාංග සිතුවිලි වන අතර,එහි ප්‍රතිඵලයක් ලෙස මගේ ඊළඟ භවය තීරණය වන බවය.සිත ශරීරයෙන් බැහැරවූ විට මරණය සිදුවන බව මා දන්නා මුත් එය කවදා කොතැනදී කෙසේ සිදු වන්නේ දැයි මා නොදන්නේ මට ඒවා හසුරුවියහැකි දේවල් නොවන නිසාය. යමක් මට උවමනා පරිදි හසුරුවන්න පුළුවන් නම් එය මට උවමනා ආකාරයට ස්ථිරව තබා ගන්න පුළුවන් නම් එය නිත්‍ය දෙයකි. මට එසේ කරන්න බැරි නිසා ඒවා අනිත්‍ය දේවල්ය. නමුත් එම අනිත්‍ය කරුණු මා නොදන්නා නිසා මා ජිවිතයෙන් පලා ගොස් නැත. මා ජීවිතය තුල සිටිමි. ඔබ සමග සංවාදද කරමි. ඔබෙන් මොනවා හරි මට ඉගෙන ගන්න තිබෙනවා නම් මා එය මග හරින්නේ කුමක් නිසාද?

    සමරසේකර

    Liked by 1 person

    • මගේ ප්‍රතිචාරය ප්‍රමාද වීම ගැන සමාවන්න මහත්මයා,

      ලෝකය මැනවින් වින්දනය කල ‘යුතුය’ කියල මතයක මම නැහැ. ලෝකය විඳින අයට ඒ නිදහස තිබිය යුතුයි, ඒ විඳීම තුළ අන් අයට හානියක් නොමැති තාක්. මම කියන්නේ මෙහෙම දෙයක්.. සතුට, දුක වැනි සිතේ ඇතිවන මිනිස් හැඟීම් ස්වභාවිකයි. ඒ හැඟීම් ඇත වීමේ වරදක් මම දකින්නේ නෑ. සතුට හොඳවත් නරකවත් නැහැ, දුක හොඳවත් නරකවත් නැහැ. නමුත් අනවශ්‍ය පරිදි සත්වයන්ව දුකට පත් කිරීම(suffering) හැකි තරම් අවම කල යුතුයි. සමස්ථයක් වශයෙන් ගත් කල මිනිස්සුන්ගේ සතුට වැඩිවන දිශාන්තයට, එනම් සමාජය යහපැවැත්ම උදෙසා ක්‍රියා කල යුතුයි. මා සදාචාරය කියා හඳුන්වන්නේ එයයි. සතුට යන හැඟීමෙ වටිනාකමක් නැතිය කියා මා සිතන්නේ නෑ, ඒ වටිනාකම නිසාමයි තව මනුෂ්‍යයෙක්ට සතුට දනවන ක්‍රියාවක් කිරීම යහපත් දෙයක් වෙන්නේ, හොඳ දෙයක් වෙන්නේ. මිනිස් හැඟීම් වලට වටිනාකමක් තිබෙන බව මම විශ්වාස කරනවා. ඒවගේම අපේ මනුෂ්‍ය බව තුළ ගැබ්වී තිබෙන සතුට, දුක, සැකය, ඉච්ඡාභංගත්වය, කෝපය වගේ හැඟීම් වලින් එකක්වත් සෑම විටම සෘණාත්මකයි කියල මම හිතන්නෙත් නැහැ. ඒවා තිබෙන්නේම ඒවායින් අපේ පැවැත්මට උපකාරයක් වන නිසයි(අපේ පැවැත්මේ හොඳ නරක වෙනම කතාවක්). එනිසයි සියල්ල ඵලක් නෑ වගේ හැඟීම් මම ප්‍රතික්ෂේප කරන්නේ. බුදුදහමේ ඉගැන්වීම අනුව එහි ඇත්ත නැත්ත කොහොමද කියා මම දන්නේ නෑ. නමුත් ගොඩක් අය බුදුදහම කියල හිතන් ඉන්නෙ ඔහොම දෙයක්.

      අනික තමා මේ වගේ අවස්ථාවල බෞද්ධ පඬිවරුන්, භාවිතාව ප්‍රශ්න කරන අපව නිවැරදි කිරීමට එනවා විනා, දිනපතාම බෞද්ධාගම වැරදි පැත්තෙන් අල්ලාගෙන සිටිනවා යයි ඔවුන්ම කියනා සාමාන්‍යය බෞද්ධයන්ව නිවැරදි කිරීමට උත්සාහයක් ගන්නේ නෑ. මම හිතන්නේ ඒකට හේතුව ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා, ඒ සාමාන්‍යය බෞද්ධයා තුළින් ඉෂ්ඨ වන නිසා. ඒ සාමාන්‍ය ජනයාගෙන් ඔවුන්ගේ ආගමේ මෙන්ම මහ පොළවේ දේශපාලන අවශ්‍යතාද ඉෂ්ඨ වන නිසා.

      ඔබේ දෙවන ප්‍රශ්නය වෙත යොමු වුනොත්, මම ඉපදුනේ මගෙ පියාගේ සහ මවගේ එක් වීමේ ප්‍රතිඵලයක් ලෙස. නමුත් ඔබ අදහස් කරන්නේ ජීවයේ ආරම්භය ගැන නම්, ඒ ප්‍රශ්නයට මට දෙන්න උත්තරයක් නැහැ. මම එය සිදුවූ ආකාරය දන්නේ නෑ. ඒත් හැම ප්‍රශ්නයකටම අපි උත්තර දැනගෙන සිටිය යුතුය කියලා මම හිතන්නෙත් නැහැ.

      සමහර විට මනුස්ස වර්ගයාගේ උපත පිළිබඳ තොරතුරු ඔහු සොයා ගනීවි, සමහර විට කෙදිනකවත් ඒ ගැන ඔහුට සැකහැර දැනගැනීමට නොහැකිවේවි. නමුත් ඉන් කියවෙන්නේ නෑ ඔහු විසින් තමාගේ ආරම්භය ගැන ඉදිරිපත් කරනා ඕනෑම අදහසක් සත්‍යය විය හැකි බව හෝ එසේ ඉදිරිපත් කරනා සෑම අදහසක්ම සත්‍යය වීමට ඉඩක් තිබෙන බව.

      Like

  12. /අනික තමා මේ වගේ අවස්ථාවල බෞද්ධ පඬිවරුන්, භාවිතාව ප්‍රශ්න කරන අපව නිවැරදි කිරීමට එනවා විනා, දිනපතාම බෞද්ධාගම වැරදි පැත්තෙන් අල්ලාගෙන සිටිනවා යයි ඔවුන්ම කියනා සාමාන්‍යය බෞද්ධයන්ව නිවැරදි කිරීමට උත්සාහයක් ගන්නේ නෑ. මම හිතන්නේ ඒකට හේතුව ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා, ඒ සාමාන්‍යය බෞද්ධයා තුළින් ඉෂ්ඨ වන නිසා. ඒ සාමාන්‍ය ජනයාගෙන් ඔවුන්ගේ ආගමේ මෙන්ම මහ පොළවේ දේශපාලන අවශ්‍යතාද ඉෂ්ඨ වන නිසා./

    ඇත්ත නේන්නම්,

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s