අහසේ දෙවියෝ නෑ !

“අ…..අ… අයියේ.. ව.. වතු.. වතුර.. ටික.ක් බො..මුද?”

 

හැතැම්ම දෙකක් පමණ බයිසිකලය පදිමින් මා හමුවීමටම පැමිණි තරිදු මල්ලි සිය කටහඬ අවදි කලේ එලෙසය.

 

කුඩා වියේදි කෙළිලොල් දඩබ්බරයෙකු වූ ඔහුගෙන් අද දිස්වන්නේ බයාදු අවිශ්වාසසහගත පෙනුමකි. ඔහු විටින් විට කතා කරන විට ගොත ගසයි.

.
.
.

මා හා සැළකිය යුතු වයස් පරතරයක් ඇති තරිඳු මල්ලි, මගේ පියාගේ පැත්තෙන් නෑදෑයකු විය. කුඩා කල නෑදෑ කොල්ලෝ කුරුට්ටන්ගෙන් මුරණ්ඩුම දරුවා වූයේ ඔහුය. අප අතරින් වැඩිහිටියන්ට වැඩියෙන්ම කරදරයක් වූයේද ඔහුය.

විටෙක ඔහු ජනේලයක වීදුරුවක් බිදියි, තවත් විටක ආය කටුවක් නවා එයට සබන් කැබැල්ලක් රදවා ඇලෙන් මාළුන් අල්ලයි, තව විටෙක පොඩි එකෙකු සමඟ පොර බඳියි. ඔහු ගැන නිතරම කුමක් හෝ පැමිණිල්ලකි.

“මූ නං යකෙක්.. ඇට්ටරයෙක්”

 

සියලු වැඩිහිටියන් තරිඳු මල්ලිව හැඳින්වූයේ එලෙසින්ය.

 

මේ දැඟලිල්ල නිසාම ඔහුව යහපත් කීකරු දරුවෙකු කිරීම උදෙසා, තරිඳු මල්ලිව අසාමාන්‍යය ලෙස සිර කොට, නීති දමා, නිරතුරුව තම ඇස් මට්ටමේ තබා ගැනීමට ඔහුගේ දෙමාපියෝ කටයුතු කළහ. ඔහුගේ පියා විසින් පනවන මේ අසාමාන්‍යය නීති අනෙකුත් වැඩිහිටියන්ගේ විවේචනයටද ලක් වූයේ වරක් දෙවරක් නොවේ.

 

වෙලාවට නැගිටීම, නින්දට යාම මෙන්ම වෙලාවට පාඩම් කිරීමද ඔහුට අනිවාර්‍ය කෙරුනු දෙවල් විය. සෙල්ලම් කිරීමට ඉඩ ලැබුනේ ඉතාම සීමා සහිත කාලයක් පමණි.

බැතිමත් කතොලිකයන් වූ ඔහුගේ මාපියන් ඉරිදාට පල්ලි යාම, දිනපතා යච්නා කිරීම අනිවාර්‍ය කොට තිබුනි.

 

කෙසේ හෝ, වයසින් වැඩෙත්ම අප එකිනෙකාට වෙන් වන්නට සිදු විය. සියල්ලන්ගෙන් ඈත් වූ මට තරිඳු මල්ලි ගැන ඉඳ හිට හෝ අහන්න ලැබුනේ මගේ අම්මාගෙනි.

 

“දැන් තරිඳු හරිම හොඳයිලු. පල්ලියෙමලු.. උඹලව තමා බලෙන්වත් පල්ලියකට යවා ගන්න බැරි. අච්චර දඟලපු ළමයා දැන් ශාන්තුවරයෙක් වගේ නිමිලලු. උඹල ඒ ළමය දිහාවත් බලල හැදියන්”

 

මම පල්ලි නොයන හැම අවස්ථාවකම, ආගමික කටයුත්තක් මඟ හරිනා හැම අවස්ථාවකම අම්මාගෙන් බැණුම් පිට බැණුම් අසන්න වූයේ තරිඳු මල්ලිගේ හොඳ සමඟ මගේ නරක සැසඳීමෙනි. කාලයක් තිස්සේ නොදුටු තරිඳු මල්ලි ගැන අම්මාගෙන් අහපු බැණුම් නිසාම තරහක් ඇති වු අවස්ථා නැතුවා නොවේ.

 

වසර ගණනක් එකිනෙකාගෙන් වෙන් වී සිටි මට, තරිඳු මල්ලි මීට මාස කීපයකට පමණ පෙර නෑදෑ කෙනෙකුගේ අවමඟුලකදී හමුවූයේ අහම්බෙනි.

 

වෙනදාට එක තැනක ඉඳගෙන ඉන්න බැරි තරිඳු මල්ලි මුළු ගැන්වී, කාගේවත් මූණවත් බලා කතා නොකරන යටහත් පහත් චරිතයක් බවට පත් වි තිබීම අප සැම පුදුමයට පත් කරනු ලැබීය.

 

“ඉතින් මල්ලි, කොහොමද?”

 

“ඉ..ඉ..ඉන්.. ඉන්නව.. අ..අයියෙ”

 

පෙර මෙන් නොව, තරිඳු මල්ලි දැන් කතා කරන විට ගොත ගසන බව අම්මා මට කියා තිබ්බද ඔහුත් සමඟ කතා කරන තුරු ඒ ගැන මගේ මතකයේ තිබුනේ නැත.

ඔහු කතා කලේ ඉතාම අපහසුවෙනි, වචන එළියට නොඑන අවස්ථාවලදි ඔහු ඇස් පියා ගනිමින් කථා කිරීමට උත්සාහ ගත්තේය.

 

“මල්ලි දැන් පල්ලියේමලු නේද?”

 

“නෑ.. නෑ අයියෙ.. ඉස්ස්ස්සර ගි..යා. දැන් වැඩිය යන්නෙ නෑ..”

 

“කවුද ෆාදර් කෙනෙක් එක්ක ෆිට් එකේ හිටියලු නේද?

 

“ආ..පෝ.. මිමිනිහ… අඅ..න්තිමට මමල වදයක් වුනා”

 

“ඒ මොකෝ”

 

“නීති… දා…න්න ආවා අයියේ. ඕ..න එකටයි එ…පා එකටයි ඔක්කෝටම. දැන් මං පල්ලි යන්නේ නෑ”

“එහෙමද?”

“අයියේ, මං පොඩි දෙයක් අහන්නද? ඔයා ආගම ගැන දන්නවනෙ”

 

“ගොඩක් දන්නෑ මල්ලි, ටිකක් දන්නවා”

 

“අයියේ මට නින්ද යන්නෙ නෑ අයියෙ. බයයි.

‘මට දැන් කෙල්ලො ගැන එක එක ඒවා හිතෙනවා අයියෙ”

නව යොවුන් වියේ මුවවිට ආදරය පහුරු ගාමින් සිටින මේ ගැටයා තම දැඩි ආගමික විශ්වාසයන් සහ හිත කිති කවන ආදර හැඟුමන් සමඟ අරගලයක යෙදී සිටියි.

“බයිබලයේ තියෙනවනෙ කෙල්ලෙක් දිහා නරක විදියට බැලුවත් එකයි, එයා එක්ක නිදා ගත්තත් එකයි කියල. ඉතින් මම ටීවී බලන්නෙත් නෑ ඒනිස. කොහේවත් යන්නෙත් නෑ. කොටට ඇන්ද කෙල්ලො දකිද්දි මට කේන්තියි”

“මට බයයි අයියේ… මට එහෙම දේවල් හිතුන නිසා මං අපායේ යයි කියල”

මේ නව යොවුන් ගැටයා තමන්ගේ අත්දැකීම විස්තර කරනා විට ඔහුගේ අතැඟිලි මිටි ගැන්වේ, ඇස් විශාල වේ.

එදා දඩබ්බර ඇට්ටරයා මේ තරම් බියසුලු ගොත පුද්ගලයෙකු බවට පත් වූයේ ඇයි?

“අනේ අයියෙ. මට නින්ද යන්නේ නෑ.
මම ආසයි මැරුනයින් පස්සෙ මුකුත් නැත්තන්. ඇයි, අපි අතින් වැරදි වෙලා  බැරිවෙලා හරි අපායට ගියොත්,, සදාකාලයටම පිච්චි පිච්චි.. දුක් විඳින්න වෙනවා. අයියේ.. සදාකාලයටම”
“මල්ලි වෙලාවක එන්න අපි කතා කරමු”

.
.
.
.

“ආ අයියේ කෝප්පේ” තරිදු මගේ දැහැන බිඳියි

“මල්ලි, මොකෝ තත්ත්වේ? මොකද හිතන්නේ මම කිව්ව බයිබල් පාඨ ගැන?”

 

“ඔ..ඔව් අයියේ.. හිතුවා ගොඩක් හිතුවා”

“මට එ..එදා ඉඳල ඔලුවට මා..ර නිදහසක් දැනුනේ. ඒකයි මම අදත් ආවේ පොඩ්ඩක් කතා කරන්න. මට නින්දත් ගියා”

 

මා නිසා ඔහුට දැනුන වෙනස ගැන ගොත ගසමින් හෝ ඔහු දිළිසෙන දෙනෙත් වලින් සිනහමුසු මුහුණුන් කියන අයුරු දුටු මට එතරම් සතුටක් දැනුන දවසක් මතක් කල නොහැකිය.

 

“බය වෙන්න එපා මල්ලි. ඕව ඔක්කෝම එක එක අරමුණු නිසා මිනිස්සු ගොතපු කතා. අනික, මම කිව්ව වගේ හැම ආගමකම ඔය අපාය ගැන උගන්නනවා. එහෙම බය වෙන්න ගියොත් අපිට හැම ආගමකම අපාය ගැන බය වෙන්න ඕනනෙ”

 

ඔහුට අවශ්‍ය වූයේ ඔහු තැතිගැත්මට පත් කල, ඔහුගේ නින්ද අහිමි කල, කොටින්ම ඔහුව සාමාන්‍යය ජීවිතයෙන් නැති කල “අපාය” ගොතන ලද මිත්‍යාවක් බව නැවත නැවතත් තහවුරු කර ගැනීමටය.

 

හමුවීම් කීපයක් තුල ඔහුට විද්‍යාවෙන් ගත් උදාහරණ ඇසුරෙන් ආගමික මිථ්‍යාවන් ගැන හැකිතරම් පහදා දී අපාය පිළිබඳ බය කෙමින් කෙමින් අඩු කරන්නට මට හැකි වුනි.
.
.
.
.
“අයියේ මම ගිහින් එන්නද?”

 

සිනාමුසු මුහුණ, නිදහස ලැබූ පරවියෙක්ගේ සතුට

“හරි මල්ලි”

 

“අහසේ දෙවියෝ නෑ” මම තාලයට කියමි

ඔහු සිනාසෙයි

 

“ඇයි? දෙවියෝ නෑ කියලා හිතන්න බයද?”

“ද..දන්නවා.. අ..යියේ.. ඇත්ත .. මොක..ක්ද කියල.. ඒ..ත්.. ඒක.. කියන්..න්න.. බ්බ්බ්..බ්..බ..ය..යි….තා..ම”

තරිදු වැඩියෙන්ම ගොත ගසන්නේ දෙවියන් නෑ කියා සිතන විටය.

බයිබලයට අනුව ශුද්ධාත්මයානන් නැතැයි සිතීම කිසිදා සමාව නොලැබෙන පාපයයි.

 

Advertisements