බලහත්කාරයෙන් කරකාර බැන්ද‍වීම

“මගේ අම්මලා මුළු ජීවිත කාලෙම කිව්වෙ අඳුරන්නෙ නැති පිරිමි එක්ක කතාකරන්නවත් එපා කියල. එහෙම කිව්ව ඒගොල්ලොම දැන් කියනව අඳුරන්නෙ නැති මිනිහෙක්ව කසාද බැඳලා ජීවිත කාලයම ඒ මිනිහා එක්ක ඉන්න කියල”

කාලෙකට කලින් කොහෙන්දෝ දැකලා ඔලුවේ හිරවුන කතාවක්.

මේ කතාවේ එළිපිට නොකියන කෑල්ල තමයි,

“දුවේ මොන දහන් ගෑටේ දාලා හරි ඔය කකුල් දෙක මැද්දේ අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ල ආරක්ෂා කර ගනින්” කියන කතන්දරේ.

එහෙම වෙන්නේ, විවාහයට සහකාරිය තෝරගද්දි අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ලකින් ගෑණියෙක්ගේ පිවිතුරු බවක් හොයන්න සමාජය පෙළඹිලා ඉන්න නිසා. මේ කතන්දරේ තියෙන කැත පැත්ත තමයි, අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ලෙන් ගැහැණියකගේ පිවිතුරු බව සොයන පිරිමි ඉන්න සමාජයක. ඒ පිවිතුරු බව ඒ පිරිමින්ගෙන්ම ආරක්ෂා කර ගන්නට සිද්ද වෙලා තියෙන එක.

ඒ නිසා තම දියණියට විවාහ වෙළඳපොළේ තියෙන ඉල්ලුම තීරණය වන ප්‍රධානම සාධකයක් වන ඒ හම් කෑල්ල ආරක්ෂා කරන්න දැඩි නීති රැකවල් සීමා පනවන්න දෙමාපියන් පෙළඹිලා.

ගෑණු දරුවා වැඩිවියට පත් වුන දවසේ ඉඳලමත් (සමහර විට ඊට පෙරත්) ඇයව පිරිමින්ගෙන් ආරක්ෂා කරන්න ඕන. ඇයගේ ස්වභාවික අවශ්‍යතා වලින්, ඇගේම ආශා වලින් ඇයව ආරක්ෂා කර ගන්න ඕන.

බොහෝ දෙමාපියන් කරන්නේ තමාගේ දියණියන්ව නිසි වයස යයි ඔවුන් හඳුන්වන වයසකට පැමිණෙන තුරු කූඩු කොට තබල, ඉන්පස්සෙ තමා තීරණය කරන පිරිමියෙක්ට විවාහ කරල දෙන එක.

මේ විකාරරූපී විකෘති වූ සදාචාරයක් අස්සේ විවාහය තෙක් තමන්ගේ දෙමාපියන්ගේ සිරකාරියන් වන තරුණියන්ට ඒ සීමාවීම නිසාම තමාට ගැලපෙන සහකාරයෙක් තෝරාගන්නවත්, තෝරාගත්ත සහකාරයාව ආශ්‍රය කරලා තේරුම් ගන්න ඉඩක් ලැබෙන්නෙ නෑ.

මෙවන් සීමා මායිම් අස්සේ හිරවෙලා නිදහසක් නැති ජීවිතයන් ගත කරන ඔවුනට රිසි සේ ආදරය කරන්න, ආදරය විඳින්න ලැබෙන්නේ නෑ.

පියාගේ අධිකාරියෙන් හිර වෙලා තමාගේ ජීවිතයේ මුල් දශක කිහිපය ගත කරන ඇයට ඉන් නිදහස් වීම සමරන්න වෙන්නේ සුදු ඇතිරිල්ලක් දාපු ඇඳක වෙන මිනිහෙක් ඉස්සරහා කකුල් දෙක ඈත් කරගෙන.

ඒ මිනිහා පවා තෝරාගන්න ඇයට තියෙන නිදහස දෙමාපියන් විසින්ම නැතිකරලා දාලා.

මීට මාස කිහිපයකට කලින් මගේ මිතුරියක් හැඬූ කඳුළින් කිව්වෙ ඇයගේ දෙමාපියන් ඇයව බලහත්කාරයෙන් නාඳුනන පුද්ගලයෙක්ට විවාහ කරලා දෙන්න යන බව.

ඔව්.. ඇයගේ දෙමාපියන් ඇයගේ ජීවන සහකාරයා ඇයටම තෝරලා දීලා

ඒ තීරණයට ඇයගේ කැමැත්ත අකමැත්ත වැදගත් වෙලා නෑ.

දැන් ඇයට තියෙන්නේ දෙමාපියෝ තීරණය කරපු ඒ මනමාලයාව ගිහින් කසාද බඳින්න. දෙමාපියන්ගේ තීරණයට අවනත වෙන්න.

මේ විවාහ ගණුදෙනුව තීන්දු කරද්දි දෙමාපියන් ඇයගේ කැමැත්ත විමසීමක් කරලත් නෑ. කැමැත්ත විමසන්න අවශ්‍යතාවයක් තිබිලත් නෑ.

මොකද, දෙමාපියෝ දරුවන්ට හොඳම දේ මොකක්ද කියල දන්නවනෙ. ඉතින් දරුවෝ වෙනුවන් දරුවන්ගේ ජීවිත වල වැදගත්ම තීරණ ගන්නෙ දෙමව්පියෝ !

මේ අත්දැකීම මගේ මිතුරියට විතරක් සීමා වුන එකක් නෙමෙයි.

දිනපතාම ලෝකයේ විතරක් නෙමේ, අපේ රටේත් දරුවන් කීදෙනෙක් අකමැත්තෙන් දෙමාපියන්ගේ බලකිරීම් නිසා විවාහ වෙනවද? කීදෙනෙක්ට තමාගේ විවාහයන්ට, ආදර සබඳතාවලට දෙමාපිය බලපෑම් නිසා නැවතීමේ තිත තියන්න වෙනවද?

ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව තරුණයෝ තරුණියෝ දෙගොල්ලොම තමන්ගේ දෙමව්පියන් ඉදිරියේ අසරණ වෙනවා.

තමන්ගේ ජීවිතය ගෙවන්න සුදුසු සහකාරයෙක්/සහකාරියක් තමාගේ කැමැත්තට අනුව තෝරගන්න ඔවුන්ට තියෙන අයිතිය නැති කරන්නේ වෙන කවුරුවත් නෙමේ, ඔවුන්ගේම දෙමව්පියෝ.

මේ බලහත්කාරකම් සිද්ධ වෙන්නෙ විවාහ යෝජනා කියල හඳුන්වන ශිෂ්ට සම්පන්න බෝඩ් ලෑල්ලක් පිටිපස්සෙ,

මේ මානව අයිතීන් උල්ලංඝනය කරන අමනයන් හැංගිලා ඉන්නේ අපේ සමාජය විසින් සුවඳ ඳුම් අල්ලමින් උදේ හවහ වන්දනාමාන කරනා දෙගුරුන් කියන පට්ටමක් පිටිපස්සෙ,

විවාහ යෝජනා නාමයෙන් ආවට ඇත්තටම මේවා විවාහ යෝජනා ද?

මොකද, යෝජනාවක් නම් විවාහයට සම්බන්ධ වෙන ප්‍රධානම පාර්ශව දෙක වන මනාලයාට හරි මනමාලියට හරි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න හැකියාව තියෙන්න ඕන..

ප්‍රතික්ෂේප කරන්න බැරි නම් ඒක යෝජනාවක් වෙනවද?

මේවා විවාහ යෝජනා නෙමේ, විවාහ ගනුදෙනු..!

වැඩිවියට පත් තමාගේ දරුවා තමාට අයිති දේපලක්ය කියලා හිතන, ආත්මාර්ථකාමී දෙමව්පියන් දෙපිරිසක් එකතු වෙලා, ඒ දරුවන්ව යොදාගෙන තමාගේ ආත්මාර්ථකාමී අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න (තමන්ගේ පවුල, පෙළපත, කුළය තවත් ඔසවා තබන) ගනුදෙනු !

තමා කැමති සහකාරයා/සහකාරිය තෝරාගන්න තියෙන නිදහස නැති කරලා, වෙනත් පාර්ශවයක උවමනාවකට විවාහ දිවියකට ඇතුල් වෙන්න සිද්ධ වෙන එක සසඳන්න පුළුවන් මංගල්‍යයකට නෙමේ, චිත්‍රපටියක මුහුරත් උත්සයකට. ඒ අතින් ඔවුන්ට සහභාගී වෙන්න වෙන්නේ විවාහ මංගල උත්සවය කියලා ඔවුන්ගේ දෙමාපියන් සතුටු වන, දෙමාපියන් විසින් පිටපත ලියලා, දෙමාපියන් විසින්ම අධ්‍යක්ෂණය කරලා නිශ්පාදනය කරලා එළිදක්වන දෙමාපියන්ගේ පෙළපතේ අඩම්බරය සහ සතුට සමරන උත්සවයකට.

මානුෂීය සබඳතාවයකට බලෙන් ඇතුලත් කලත්, පුද්ගලයෙක්ව නීත්‍යානුකූලව තවත් කෙනෙක්ට ලියල දුන්නත් එකයි; මානුෂීය සබඳතාවයකින් ඈත් වෙන්න කියල බලපෑම් කලත් එකයි.

දෙමාපියන්ගේ බලහත්කාරයෙන් සිද්ධ වෙන විවාහ මංගල්‍යන් හා සමානවම දෙමාපිය බලපෑම් නිසා අතහැර දමන්න සිද්ධ වෙන ප්‍රේම සම්බන්ධතාද එමටයි.

වැඩිවියට පත් වුන තමාගේ දරුවාගේ කැමැත්තට, අකමැත්තට ගරුකරන සංස්කෘතියක් අපේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ වැඩිහිටි දරුවන්ට තමාගේම ජීවිතය ගැන තීරණ ගැනීමට තියෙන අයිතිය මංකොල්ලකන දෙමාපියන්ට වන්දනා කරන සංස්කෘතියක්. ඒ මංකොල්ලකෑම සාමාන්‍යයකරණය වූ සංස්කෘතියක්. ඒ මංකොල්ල කෑම හිස පහත් කරගෙන පිළිගන්නා සංස්කෘතියක් !

දශක ගණනක් මුළුල්ලේ තමා හදා වඩා තියෙන්නේ තමාගේ ජීවිතය ගැන තීරණ ගන්නවත් නොහැකි ගොන් මැට්ටෙක්වය, මැට්ටියක්වය කියා යම් මවක්/පියෙක් තම දරුවා ගැන සිතනවා නම්, එය එම දෙමව්පියන්ගේ අසාර්ථකත්වයේ ප්‍රතිබිම්භයක් පමණයි.

වයස විස්ස විසිපහ සීමාව ඉක්මවූ වැඩිහිටිපරපුරක් දෙස සමාජයක් වශයෙන් අපි බලන්නේ ‘ළමා වැඩිහිටියන්’ ලෙස නම්, ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව ගැන ඇති අවිනිශ්චිත බව නිසාම ඔවුන්ට කලින් පරපුර ඔවුන් වෙනුවෙන් තීරණ ගත යුතු නම්,

ඔවුන්ව සලකන්න වෙන්නෙ තරුණ පරපුරක් විදියට නෙමේ, ළමයින් විදියට. වයසින් වැඩිහිටියන් වුනත් මනසින් ළමයින් වන ‘ළමා වැඩිහිටියන්’ විදියට.

තත්වය මොකක් වුනත්, ඔවුන්ගේ දෙමාපිය පරපුර ඔවුන්ට සලකන්නේ ඒ විදියට.

ඔවුන්ගේ ජීවිත ගැන ඔවුනට හිමි නිදහස, වගකීම වැටකඩොළු දාලා නැති කරන දෙමාපියන් තම දරුවන්ට දෙන්නේ තේරීමක්;

“උඹ අපි කියන දේ අහල අපේ කැමැත්ත කරන්න ඕනි. එහෙම නැත්නම් අද ඉඳලා අපි මැරුන කියල හිතාගනින්. උඹට ලොකු ඒකිවද? අපිවද?”

මේ විදියට දරුවන් තුළ තමාට ඇති ආදරය, ගෞරවය දඩමීමා කරගෙන ඔවුන්ව අසරණ තත්වයට ඇද දමන දෙමාපියන් ඇත්තටම බැලුවම තම දරුවන්ට තේරීමක් ලබා දෙන්නේ නෑ.

තමා කැමති විදියට වැඩ කරන්නෙ නැති, විවාහ වෙන්නෙ නැති, ප්‍රේම සම්බන්ධතා වලට නැවතීමේ තිත තියන්නෙ නැති දරුවෙක්ගේ ජීවිතය ඔවුන් අපායක් බවට පත් කරන්නේ දරුවන් තුළ ඔවුන්ට ඇති ආදරයම ඔවුන්ගේ අවිය කරගනිමින්..
සමාජයක් වශයෙන් දැන්වත් අප අපගේ තරුණ පරපුරට වැඩිහිටියන් සේ සැලකීමට පටන් ගත යුතුය. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට තිබෙන නිදහස පිළිගත යුතුය.

මෙවන් දෙමාපියන් කෙරෙහි අප දක්වන ආකල්ප වෙනස් කර ගත යුතුය.

රටේ අනාගතය නියෝජනය කරන පරපුරකට, රට ගැන තීරණ ගැනීමට පෙර, තම තමන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඇති නිදහස පිළිගත යුතුය.

Advertisements

15 responses to “බලහත්කාරයෙන් කරකාර බැන්ද‍වීම

  1. දෙමාපියන් තම දරුවන් පිලිබඳව *කිසිත් නොදනී*. බණපොත් වසා දමා මහපොලොවට බට කල්හි අැති යතාර්ථය මෙයයි!

    Liked by 1 person

    • කවුරුවත්ම ගැන හරිහැටි දන්න කවුරුවත්ම ඉන්නවද? එක් යුගයක වහල් සේවයේ යෙදුන මිනිසුන් තමාට අයත්ය කියලා හිතලා ඔවුන්ගේ හිමිකරුවන් තමන්ට රිසි සේ සැලකුවා. අපේ වගේ සංස්කෘතීන් වල තත්වය බැලුවම, වහලුන්ට ඒ හිමිකරුවන් සලකපු විදියට සමාන කල නොහැකි වුවත්, තම දරුවන්ව තමාට අයත් දේපලය කියල හිතාගෙන ඔවුන්ට තමන්ට රිසි සේ සලකන, බලපෑම් කරන දෙමාපියන් ඕනෑ තරම් දකින්නට ලැබෙනවා. ඒකටත් වඩා, එහෙම සලකන එක සමාජය පිළිගත් තත්වයක් වීම එක්තරා විදියක ඛේදවාචකයක් නෙමේද?

      Like

    • වැරදි 50% ගැන සඳහන් කලා නම් ඒ ගැන කතා කරන්න තිබ්බා

      Like

  2. පෙම් සබඳතා වලට පිටුවා බලහත්කාරයෙන් කසාද බැන්දවීම කියල තිබුණනමේ ගොඩක් ගැලපෙනව.. සමහර මිනිස්සු ඉන්නව දෙමාපියන්ටම මිනිස්සු ගෑනු හොයල දෙන්න වෙන.. අර තාත්තා සිවිලිම උඩ ඇවිදපු කතාවෙ වගේ උනුත් ඉන්නවනෙ මේ ලෝකෙ.. හැබැයි බණ්ඩගෙ කතාව පැහැදිලියි නිවැරදියි..

    Liked by 1 person

    • ඔව් තිලංක එහෙම අයත් ඉන්නවා. මම මෙතන කියන්න උත්සාහ කලේ දරුවන්ගේ තීරණ ගැනීමේ අයිතියට අයුතු බලපෑම් කරන දෙමාපියන් ගැන. ප්‍රේම සම්බන්ධතා සහ විවාහ කියන කාරණා දෙකේදීම. සටහන වඩා දීර්ඝ වෙන නිසා ප්‍රේම සබඳතා ගැන වැඩිය ලියන්න ලැබුනෙ නෑ.

      Like

  3. අවුරුදු 20ක් වඩපු ,හදපු , රැක බලාගත් දෙමව්පියන්ගේ අදහස් වලට වඩා එක සුමානයකින් අඳුනා ගත් කෙල්ලෙකුගේ හෝ කොල්ලෙකුගේ අදහස් හරි යයි කියල හිතලා ඒ මත්තෙම නහින දු පුතුන් ගැන ඔබ මොකක්ද කියන්නෙ. එහෙම නහින්න ගිහින් තම අනාගතය අඳුරු කර ගත් දුවරු ගැන ඔබ මොකක්ද කියන්නෙ?

    සමරසේකර

    Like

    • හිටි ගමන් ටැපලෙන ඇණයාට තරහ අවසරයි.

      ලව් ඇට් ප්‍ර‍ස්ට් සයිට් කියන්නේ ඕකටනේ. වැඩේ අවුල් නම් ඩිවෝස් වෙන්නෝනේ, ඒක හිතා ගන්න තරම් බුද්ධියක් අවුරුදු 20 තිස්සෙම දෙන්න බැරිවුනා නම් ඒක දෙමාපියන්ගෙත් ෆෙලියර් එකක් නේ.

      Liked by 2 people

    • @wmks98

      ඔබේ කමෙන්ටුවට පිළිතුරු දෙන්න ගිහින් මෙන්න මේක ලියවුනා.

      “ගෑණියෙකුයි මිනිහෙකුයි සංසර්ගය කරලා, මාස නවයකට පස්සෙ මේ ලෝකෙට දරුවෙක් ගෙනල්ලා දාලා, ඒ දරුවා අවුරුදු විස්සක් විසිපහක් බලාගත්තා කියල ඒ ගෑණියි මිනිහයි ඔවුන්ගේ ජීවිත ගැනයි, ඒ දරුවාගේ ජීවිතේ ගැනයි ගන්නා තීරණ සර්වසාධාරණය කියලා කියවෙන්නේ නෑ.

      කවුරු හරි හිතනවා නම් දරුවෙක්ව මේ ලෝකෙට ගෙනල්ලා, ඒ දරුවාට තමා ගැන බලාගන්න බැරි කිරිසප්පයෙක්ව ඉන්න කාලයේ කන්න බොන්න දීලා බලාගන්න එකෙන් ඒ දරුවා සදාකාලිකව තමාට ණය ගැත්තෙක් වෙනව කියල, කරුණාකරල එහෙම අය මේ ලෝකෙට දරුවන් බිහි නොකර ඉන්න. ඒක වඩාත් හොඳයි, මම හිතන විදියට.

      ඒ වගේ ණය කාරයෙක්, තමාගේ ජීවිතේම කාටහරි ණයක් ගෙවන්න බැඳුනු කෙනෙක් බිහිකරන එක සාමාන්‍ය කටවහරින් කියනවා නම් කරන්න පුළුවන් ලොකුම “පාපයක්” !

      කෙනෙක්ට ගෙවන්න බැරි ණයක් පටවන එක පාපයක් නෙමේද? කෙනෙක්ට ජීවිත කාලයම ගෙවන්න ණයක් පටවන එක පාපයක් නෙමේද? එහෙම ණයක් පටවලා ණය පටවපු උනුයි වටේ ඉන්න උනුයි එකතු වෙලා ඒ කෙනාට ඒක ගෙවන්න කිය කිය බල කරන එක පාපයක් නෙමේද?

      කවුරුන් හරි දරුවෙක් බිහි කරන එකෙන් කියවෙන්නේ නෑ, ඒ බිහි කරපු ඈයන්ට දරුවා සදාකාලිකව ණය ගැතිය, දරුවා හැකිතරම් වෙර යොදලා මැරෙනකල්ම ඒ ණය ගෙවිය යුතුය කියල.

      කරුණාකරල තේරුම් ගන්න,

      මේ ණය.. නොඉල්ලපු ණයක් ! බලෙන් පටවන ණයක් !

      ඕනෑම කෙනෙක් දරුවෙක් බිහි කරන්නේ තමාගේ අවශ්‍යතාවයක් ඉෂ්ඨ කරගන්න, තමාගේ ආශාවක් ඉෂ්ඨ කරගන්න, තමාගේ අරමුණක් ඉෂ්ඨ කරගන්න..

      දරුවෙක් බිහිකරන්න ඉදිරිපත් වෙන හේතු ඔක්කෝම පටන් ගන්නේ “මට ඕනේ..”, “මම ආසයි…”, “මම කැමතියි…”

      වගේ වාක්‍යය වලින්.

      දරුවෙක් බිහි කිරීමේ තීරණය.. දරුවෙක් නිර්මාණය කිරීමේ තීරණය ඔබේ මිසක වෙන කවුරුන්ගේ වත් නෙමේ.

      තමා ගැන බලාකියා ගත නොහැකි, ලෝකය ගැන දැනුම් තේරුමක් නැති, අසරණ, දුර්වල, බිළිඳෙක් මෙලොවට ඔබේ අවශ්‍යතා මුල් කරගෙන ඔබ ගෙනාවනම්, ඒ බිළිඳා තමා ගැන තනිව බලාගත හැකි වැඩිහිටියෙක් කරන එක, වයසින් වැඩෙන තෙක් කෑම බීම සපයල අනතුරු වලින් බේරන එක ඔබේ වගකීම මිසක.. එහෙම කලාය කියල ඔබ අමුතු සිරා මිනිහෙක්/ගෑණියෙක්/අම්මෙක්/තාත්තෙක් වෙන්නෙ නෑ.

      ඔබ විසින්, ඔබේ ආත්මාර්ථකාමී අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න නිසා මේ කුරිරු ලෝකය මැද්දට ගෙනල්ලා අත ඇරපු ඒ අසරණ අහිංසකයාව අනතුරෙන්, උපද්‍රව වලින් ආරක්ෂා කලා පමණයි..

      කලිනුත් කිව්ව වගේ, ඒක කරන එක ඔබේ වගකීම !

      ඒ කාර්‍ය භාරය ලේසි නොවන බව ඇත්ත. නමුත් වගකීමක් භාරගත්තා නම්, එය ඉෂ්ඨ කිරීම කල යුතුයි.

      දරුවෙක් මෙලොවට බිහිකරනවා කියන්නේ සෙල්ලමක් නොවේ..!

      තව දෙයක්…

      ඔබ හිතනවා නම් මේ කරන සියල්ල නිසා කවදා හෝ ඔබ දුර්වල වූ විට, වැඩිහිටියෙක් වූ ඒ දරුවා ඔබව බලාකියා ගත යුතුය කියා,

      කරුණාකරල ඔය ගෙදර බුදුන්ට, දෙවියන්ට සමාන කරන මව් පට්ටම් පිය පට්ටම් පැත්තකින් තියලා.. තමාගේ අනාගතය ගැන හිතල හොඳ ආයෝජනයක් කරපු ඩීල් කාරයෙක් කියන එක කොන්ද පණ ඇතුව පිළිගන්න. තමාවමයි, අනිත් උන්වයි රවට්ටගන්නා ආත්ම වංචාකාරයෙක් වෙනවට වඩා ඇත්ත ඇති සැටියෙන් පිළිගන්න තරම් ආත්ම ශක්තියක් තියෙන මනුස්සයෙක් වෙන එක නම්බුකාරයි !

      ප/ලි – ගරුකටයුතු දෙමාපියන් මේ පොළෝ තලයේ කොහේවත් නොමැති බව මින් කියවෙන්නේ නැත. නමුත් ඒ ගරුකටයුතු මාපියෙක් වන්නට, දරුවෙක් මේ ලෝකෙට ගෙනවිත් දරුවා වැඩිහිටියෙක් වන තෙක් ආරක්ෂා කරමින් දරුවාට කන්න බොන්න දීම පමණක් නම් ප්‍රමාණවත් නැත.

      මගේ පොතේ හැටියට කතාව මෙසේය. සුපුරුදු පරිදි විවේචන සතුටින් බාරගනිමි”

      Like

  4. @ඇනයා
    මිනිසෙකුට මොළයක් කියල දෙයක් තියෙන්නෙ ඒක පාවිච්චි කරන්න මිසක් ඒක උඩ වාඩි වෙන්න නම් නොවේ. මේ blog එකොබේ උනත් ඒක බලන්න එන අපි පාවිච්චි කරන්නෙ අපේම ධනය සහ කාලය බව ඔබට අමතක වෙලා වගෙයි. ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා ඔබ ඉදිරිපත් කරන මතය නිවැරදිව ඉදිරිපත් කිරීමට මෙන්ම අපි අහන ප්‍රශ්න වලට නිවැරදි උත්තර දීමට. අයහපත් විවාහයෙන් ගැලවීමට නම් දික්කසාදය තෝරා ගැනීමට බුද්ධියක් තිබියයුතු බව කියන ඔබ විවාහය සලකන්නේ කඩයෙන් ලබා ගත් බඩුවක් නුසුදුසු යයි කියා ඒ බඩුව ආපහු දීමක් වාගේ හැටියටද? විවාහයෙන් ඉපදුනු දරුවන්ගේ අනාගතයට සහ යහසාධනයට ඒ දික්කසාදය කොහොම බලපානේනේද කියල කියනවද?

    සමරසේකර

    Like

    • /ඔබට වගකීමක් තියෙනවා ඔබ ඉදිරිපත් කරන මතය නිවැරදිව ඉදිරිපත් කිරීමට මෙන්ම අපි අහන ප්‍රශ්න වලට නිවැරදි උත්තර දීමට/ ඕං ඕකනං කොමටවත් කරන්න බෑ, මං ගාව තියෙන්නේ වැරදි උත්තරම විතරයි.

      දරුවොංගේ සුබ සිද්ධියට නෙවෙන්නං සීයලා ආච්චිලා ඉන්නේ, ආයේ මොකෝ එයාලට දරුවංගේ ජීවිත වලට ඇඟිලි ගහන්න එපා කියලා දන්න හොඳම සිංඟලෙන් කීවත් අතාරිනව යෑ.

      ඇත්තම කියන්න මම අරක උඩ වාඩි වෙලත් බලනව වෙනස් උත්තරයක් එයි ද කියල 🙂

      Like

  5. හැමදාම පට්ටගහන මාතෘකාවකි. සමීක්ෂණයක් කර බලන්න, මේ සිරිත අත්හරින ප්‍රමාණයක් අපේ සමාජයේ ඉන්නවාද? ඒ ප්‍රමාණය වැඩිවෙනවද අඩුවෙනවද කියා. අන්න එතන තමයි තිත්ත ඇත්ත තියෙන්නේ.

    Liked by 1 person

    • මම මේ ගැන කතා කරපු පළවෙනි වතාව. විචාරක මේ ගැන ලියල තියෙනවා නම් ලින්ක් එකක් දෙකක් දෙන්න. මේගැන විචාරකගෙ අදහස් කියවන්න කැමතියි.

      Like

  6. නැහැ නැහැ, මම අදහස් කලේ මම මේ ගැන ලියා තිබෙනවා කියන එක නොවෙයි. තරුණියන්ගේ පාරිශුද්ධ භාවය ඉල්ලන පිරිමින්, තමන් අශුද්ධව සිටිමින්, කන්‍යාභාවය සොයන පිරිමින්, කන්‍යාභාව්‍ය යනු අනිවාර්යයෙන්ම, සෑම තරුණියකටම තිබෙන ශාරීරික ලක්ෂණයකැයි, තවමත් දැඩිව විශ්වාස කරන වැඩිහිටියන්, වැනි කරුණු අඩංගු ලිපි, වාර්තා, රූපවාගිනී, ගුවන්විදුලි සාකච්ඡා ඉතා විශාල ප්‍රමාණයක්, මා කියවා/දැක/අසා තිබෙනවා. ඒ නිසයි කිව්වේ මෙය නිතර පට්ටගහන මාතෘකාවක් කියා.

    Liked by 1 person

    • ඇත්ත. නමුත් කොච්චර කතා කරලත් තවම සැලකිය යුතු වෙනසක් වෙලා නැත්නම්, ඒ ගැන තව තවත් කතාකරන එක හැර කරන්න දෙයක් නෑ නේද. අනෙක මගේ අදහසේ හැටියට නම්, කන්‍යාභාවය කෙසේවෙතත් මේ බලෙන් විවාහ කරන එක සහ දරුවන්ගේ මානුෂීය සබඳතා/ජීවිත වලට දෙමාපියන්ගේ අනවශ්‍ය බලපෑම් කිරීම ගැන නම් තව සාකච්ඡා වෙන්න ඕන.

      Like

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s