බුදුන් මැරීම

12647620_1656899604561734_14436814_n

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”

මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි.

නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය.

“If You Meet the Buddha on the Road, Kill Him.”

ඇලීමේ ආනිසංස දේශනා කල බුදුන් වහන්සේගේ අනුගාමිකයෝ තම එදිනෙදා ජීවිතයේ ලෞකික සැපසම්පත් වලට අමතරව ‘බුද්ධ’ යන සංකල්පය සමඟද තදින්ම ඇලී සිටිති. බුදුන්වහන්සේ යන සංකල්පය ඔවුන් යොදා ගන්නේ ඇලීමෙන් මිදීමට මාර්ගයක් ලෙස නොව, ආශාවෙන් මත්වී මෝහයෙන් අන්ධ වී තව තවත් ඇලීමට හේතුවක් ලෙසය.

බුදුන්වහන්සේගේ අනුගාමිකයන්ය කියා ගන්නා සමහර පිරිස්, සිංහලබුද්ධාගම නැමති ආගම සමඟ ඇලීම කෙතරම්ද යත්, එය ආගමික වියරුවක් දක්වා වර්ධනය වී ඇත. ඔවුන්ගේ සහ දේවවාදී අනුගාමිකයන්ගෙ හැසිරීම්, ආකල්ප වල වෙනසක් සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇත.

බුදුදහමෙන් තම හැසිරීම් සහ ආකල්ප සාධාරණීයකරනය කල නොහැකි තරමටම බුදුන්ගේ දර්ශනයෙන් ඈත් වී ඇති ඔවුන්, ඒ සඳහා වෙනත් ආගමික ඉගැන්වීම් වල සරණ පතා දුවති. වෙනත් ආගම් වල අන්තවාදී පිරිස් වල හැසිරීම් උපුටා දක්වති.

වෙනත් ආගමික අන්තවාදීන්ට සහ ආගමික ඉගැන්වීම් වලට ඇඟිල්ල දිගු කරමින් තමාගේ අබෞද්ධ හැසිරීම් සාධාරණීයකරනය කරති.

තමන් වහන්සේ දෙසූ දහම පවා අත්හළ යුතු බව බුදුරදුන් ඉගැන්වූවා යයි මා අසා තිබේ. තමන් වහන්සේ දෙසූ ධර්මය සසරින් එතරවීම පිණිස පහුරක් මෙන් යොදා ගැනීම මිස, කර තබා ගෙන යෑම නො කළ යුතු බව බුදුරදුන්ගේ ඉගැන්වීම බව සඳහන්ය.

“ධර්මය කියන්නේ පහුරක් පමණය. ගඟින් එගොඩ ගිය පසු පහුර බිම තැබිය යුතුය”

නමුත් තමා බුදුන් සරණ ගිය උන්ය කියා ගන්නා බෞද්ධ අනුගාමිකයන් අද කරන්නේ මීට හාත්පස වෙනස් දෙයකි.

ඔවුහු ගඟින් එගොඩ වීම පසෙක ලා, එහා ඉවුර සහ ඟග දෙස බලමින් මෙහා ඉවුරේම සිට පහුර කර තබාගෙන පහුරේ ගුණ වයති. පහුරට මල්මාලා දමමින් සුවඳ දුම් අල්ලමින් පහුරටම වන්දනාමාන කරති.

පහුර යොදාගෙන ගඟින් එගොඩ වීමට උත්සාහ කිරීම වෙනුවට, ගඟින් එගොඩ වීමට ඇති පහුර’ම මෙහා ඉවුරේ සිරවී සිටීමට තවත් හේතුවක් කරගෙනය.

ගෞතම බුදුන් නම් විශිෂ්ඨ දර්ශනවාදියාගේ ඉගැන්වීම් ආගමික රාමුවකට කොටු කිරීමේ ප්‍රතිපලය මෙයයි.

ඉන් සිදු වී ඇත්තේ ඔහුගේ ඉගැන්වීම් වල හරය සහ ගැඹුර ග්‍රහනය කර ගැනීමට තියෙන හැකියාව මොට වී ඔහුගේ ඉගැන්වීම් වල සැබෑ අරුත මඟ හැරීයාමය.

අවසානයේ සිදුව ඇත්තේ ගෞතම බුදුන් නම් ඒ විශිෂ්ඨ දර්ශනවාදියාව මල්මාලා වලින් සරසා හඳුන්කූරු සුවඳ දුම් පිරි කාමරයක සිර කොට, පුද පූජා පැවැත්වීමට තිබෙන තවත් ආගමික සංකේතයක් බවට පත් වී තිබීමය.

වර්තමාන ලෝකයට බුදුදහම මඟින් උකහා ගත යුතු යමක් වේද එය තේරුම් ගත හැක්කේ ආගමික ඇදහිල්ලෙන් නැඟෙන අන්ධ භක්තියෙන් නොව ගෞතම බුදුන්වහන්සේගේ දර්ශනය විමර්ෂණාත්මක බුද්ධියෙන් විමසීමෙන්ය.

සුවඳ දුම් පිරි බුදුකුටියකට සිරකරනු ලැබුව වැඳුම් පිදුම් කිරීමට ඇති ආගමික සංකේතයක් බවට පත් වී සිටින ගෞතම බුදුන්ව ඉන් නිදහස් කොට ඔහුගේ මුවින් නික්මුන ඉගැන්වීම් ඔස්සේ අප බුද්ධිය මෙහෙයවීම වැදගත් වන්නේ එබැවිනි.

Advertisements

10 responses to “බුදුන් මැරීම

  1. මගෙන් කවුරුහරි බුඩිස්ට් ද කියල ඇහුවොත් මම නැහැ කියන්නෙත් නැහැ. ඔව් කියන්නෙත් නැහැ. හැබැයි අදේවවාදියෙක් හා බුදු දහම ගැන පොත් පත් කියවනවා , පන්සල් යනවා කියල කියනවා. එතකොට හුඟක් අය විස්තර අහන්න පටන් ගන්නවා.

    Like

    • Me too,

      එතකොට ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ගියාම වෙන වැඩක් නැති වෙනව 🙂

      Liked by 1 person

    • මම නිර්-ආගමිකයෙක් වුනාට බුදුන්ගේ ධර්මය ගැන තියෙන්නේ ධනාත්මක අදහසක්. ප්‍රායෝගික ජීවිතයට ඇප්ලයි කරද්දි යම් යම් අඩුපාඩු තිබුනට බුද්ධ ධර්මයේ සමහර කොටස් අදටත් අපේ ජීවිත වලට ප්‍රයෝජනවත් කරගන්න පුළුවන්.

      මම ළඟදි දැක්කා බුදුදහම ගැන ලස්සන පැහැදිලි කිරීමක්, අන්තර්ජාලයේදීම. එතන කියවිලා තිබුනේ බුදුදහම යනු Martial Art වගේ දෙයක් කියල. එය ප්‍රගුණ කිරීමෙන්, එය නොදන්නා අයට වඩා හොඳට ජීවිතයේ සමහර ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් කම ලැබෙනවා. ඒත්, එය දැනගත්ත පළියට ජීවිතේ හැම ප්‍රශ්නයකටම විසඳුම් ලැබෙනවා කියල හිතන එක වැරදියි .

      Like

  2. ඒක නම් ඇත්ත. සෙනසුරාදා අඳුරන අදේවවාදී තුර්කි කාන්තාවක් (හිටපු මුස්ලිම්) බුද්ධාගම ගැන ඇහුවා . අන්තිමට පයක් විතර එයාගේ ප්‍රශ්න වලට උත්තර දීලා මම කිව්වා “ම මට ඔයාව බුද්ධාගමට හරවන් ඕනේ නැහැ. ඔය පොත් දෙක තුනක් කියවන්න කියල. ලබන සතියේ භාවනා පන්සලකාට් එක්ක යන්න පොරොන්දු වෙන්න වුණා.

    Liked by 1 person

    • මම නම් පන්සලක් පැත්ත පලාතෙ ගිය කාලයක් මතක නෑ. ඉස්සර නම් නිකමට හරි පන්සලට යන්න ආසයි. පන්සලේ තිබ්බ නිවී සැනසිල්ල, ශාන්ත බව නිසා. ඒකටත් එක්ක දැන්,මුළු ගමටම ඇහෙන්න කණ පැලෙන්න ‘ඩෙං කුටු ඩෙං කුටු’ ගගා ලවුඩ්ස්පීකරේ දැම්මාම කනක් ඇහෙන මනුස්සයෙක් ඒ පැත්ත පලාතේ යයි කියල හිතන්න බෑ.

      ඉස්සර පන්සල් වල තිබ්බ ශාන්ත බව දැන් ලවුඩ්ස්පීකර් කටවල් වලින් ගිලගෙන තියෙන්නෙ

      Like

  3. මම වැඩියෙන්ම ආගමික පොත් හැටියට කියවලා තියෙන්නේ යොහොව්වා සඟරා. සමහර යොහොව්වා පොත්වල ඉඩෙන් බාගයකටත් වඩා වෙන්කර තියෙන්නේ කතෝලික ආගමට බනිනන්න. නමුත් යොහොව්වො වැඩිපුරම ඉන්නෙත් කතෝලික හෝ වෙනත් (ඔවුන් නින්දා කරන) ක්‍රිස්තියානි ආගමික රටවල්වලමයි. ඔයාගේ අදහස් ගැනත් ඒකම කිව හැකියි. සිංහලබෞද්ධයෝ බොරු කාරයෝ වෙන්න පුලුවන්. නමුත් ඔයා මේ ලිපිය ලියන්නෙත් ලංකාවේ බහුතරයක් “බොරු” බෞද්ධයෝ ඉන්න නිසා නේද? එහෙම නොවුනනම් ඔයාට සැබෑ හෝ බොරු බුදුදහමක් ගැන හිතන එකක්වත් නෑ අනිත් අතට බුද්ධාගම “හරියට” ඇදහීම පෞද්ගලික මට්ටමින් කලයුතු දෙයක්.

    Liked by 1 person

    • බුදුදහම හා සම්බන්ධ මගේ ලියවිලි ඔක්කොම වගේ ලියවෙන්නේ බොරු බෞද්ධයෝ කියල ජගත් හඳුන්වන සිංහලබෞද්ධයෝ කියලා මම හඳුන්වන කොටස ඉලක්ක කරගෙන, ඔවුන්ගේ ක්‍රියාකාරකම් අලලා. දැන් ඔය කොටස බහුතරය නොවී, සුළුතරයක් වුනොත් යම් දවසක (මගේ ජීවිත කාලයේ එහෙම වේවිය කියලා මම හිතන්නෙ නෑ) මම එදාට සමහර විට බුදුදහමේ ශාස්ත්‍රීය පැත්ත ගැන මීට වඩා අවධානය යොමු කරයි, සමහර විට. මීට වඩා බුදුදහම ආශ්‍රිත ශාස්ත්‍රීය සංවාද වලට සම්බන්ධ වෙයි.

      නමුත් ඉතින්, එහෙම වුනොත් මෙහෙම වේවිය.. මෙහෙම වුනොත් එහෙම වේවිය කියලා මෙහම කීබෝර්ඩ් එකකට ඔබ ඔබ උපකල්පනය කරන එකත් එක්තරා විදියකට මෝඩකමක්. දැන් ඉන්න තත්වය ගැන කතා කරල ඉන්න එක හොඳයි ඔක්කොටම කලින්

      Like

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s