ගල් නිසා සිල් බිඳගන්නා පින්වත්තු !

 

ප්‍රසිද්ධ නිරූපිකාවක් කොටට ඇඳගෙන බණ අහන්න ගිහින්ය. ගිහින් නිකන් ඉඳලා නෑය.

(ඔව් ඉතින් නිකන් ඉන්නයැ බණ ගෙදර යන්නේ, බණ අහන්නනේ)

බණ ඇසීම නැතිවීම කෙසේ වෙතත් බණ අහනවා වගේ ඉඳලා ෆොටෝ ගහලාය. ඒ ෆොටෝ ෆේස් බුක් දමලාය.

(ඔව් ඉතින්, ෆේස් බුක් දාන්න නෙමේ නම් ෆොටෝ ගන්නේ වෙන මක්කටයැ)

සුපුරුදු පරිදි ඉන්ටර්නෙට් එකේ අයියලා ඒ ගැන කතාවය. ඉතින් මේ ඒ කතාව ගැන මේ අයියාගේ කතාවය.

(අල්ලපු ගෙදර වැලේ වනපු ජංගියේ හිලක් තිබ්බත් ඉතින් උඹල ඉන්ටර්නෙට් එකේ කියෝ ගන්න එකනෙ කරන්නෙ)


ඉන්ටර්නෙට් එකේ සමහර අයියලාට (සහ අක්කලාට) අනුව කොටට හැඳ බණ ඇසීම නෝටි වැඩකි.

(බණ අහන්න නෙමේ, කොහොම කොටට ඇන්දත් නෝටි තමයි)

කොටට හැඳ බණ ඇසීමෙන් වටේ ඉන්න පිරිමින්ගේ කාමය ඇවිස්සේ.

(කාමය විතරක් නෙමේ. කකුල් දකින එකෙන් රාගය ඇවිස්සෙනවා. ඊට පස්සේ ඒ කකුළ් ගැන ආසාවක් ඇති වෙලා මෝහය ඇවිස්සෙනවා. ඊටත් පස්සේ ඒ කකුළ් තමාට ලබා ගන්න බැහැයි කියන කටුක සත්‍යය වැටහුනාම ද්වේෂය ඇතිවෙනවා)


කොටට හැඳ බණ ඇසීමෙන් ලංකාවේ බුද්ධ ශාසනය පිරිහේ.

(බුද්ධ ශාසනය පිරිහෙන මූලිකම හේතුව ගෑණු කොටට අඳින එක නෙව).

පුටුවක හිඳගෙන බණ ඇසීම ආනත්තරීය පාප කර්ම වලට විතරක් දෙවෙනි වන පවකි.

(බණ අහද්දි පශ්චාත්භාගයේ කොටසක් පොළවේ ගෑවෙන්න ඕන කියලා කොහේදෝ කියල තියෙනවලු. එතකොට පව් අ(ර්)ත් වෙලා පින් වැඩි වෙනවලු)


ඒ එක් පිරිසකි.

(ඔව්. ඒ අපේ එල්ලුම් ගහ ඉල්ලන එලකිරි බෞද්ධ සෙට් එක. ජය වේවා)


අනිත් අයියලා (සහ අක්කලා) සෙට් එකට අනුව කොටට හැඳීම වරදක් නොවේ.

(මොකක් කිව්වා..?)


ඒ අයියලාට අනුව කොටට ඇන්දාම සාරි කෑලි එල්ලාගෙන ඉන්නවාට වඩා ආකර්ෂණීයයි ලුය.

(උංගේ අම්මලට, ආච්චිඅම්මලට කොටට අන්දලා ආකර්ෂණීය කරගන්න කියහන්)

කොටට අඳින එක ගෑණුන්ගේ අයිතියක් ලුය.

(හැමෝ එක්කම නිදාගන්න එකත් අයිතියක් තමා)


කොටට අඳින එකෙන් ගෑණියෙක්ව මනින්න බෑ ලුය.

(ගවුමේ දිග පළල මැනලා තේරුම් ගන්න බැරි එකීලා කව්ද කියල නම් මැන ගන්න පුළුවං)


කොටට ඇන්දාම කේන්ති යන්නේ පසුගාමී චින්තනය නිසා ලුය.

(මොකක්ද දැං මුංගේ මහ ලොකු ඉදිරිගාමී චින්තනේ? බුකියේ පොර ටෝක් දීලා හොරෙන් ගල් බලන එකද?)


බණ අහන්න ආවනං බණ අහන්නෙ නැතුව කෙල්ලන්ගේ කකුළ් බලන පිරිමි වැරදි ලුය.

(බුදුබණ වුනත් පැයක් විතර අහං අහං ඉද්දි කම්මැලි වුනාම ඔය වටේ තියෙන ගලක් දෙකක් බැලෙන බව ජීවිතේට බණ අහල නැති මුං දනීවියැ)


කෙල්ලෙක් රෑ 12ට ජංගියක් ඇඳන් ගිහින් දූෂණය වුනත් ඒකිගේ වැරැද්දක් නැතිලුය.

(නෑ. ගෙදර ගොරෝ ගොරෝ නිදන් හිටපු මගෙයි වැරැද්ද)


ඒ අනිත් අයියලා සෙට් එකය.

(පශ්චාත් නූතනවාදී ඩොලර් කාක් සෙකියුලර් කොල්ලො ගහන අවජාතක පරයො ටික)

ඒ අයියලා සහ මේ අයියලා කිව්ව දේවල් ගැන ඒ අයියලාත් නොවන මේ අයියලාත් නොවන මම අයියා කියන දේ මේකය.

(ආ කියහංකො බලන්න)


ගෑණියෙක්, කෙල්ලෙක්, ආච්චි කෙනෙක් බැයි නම් ඕන මල යකෙක් කොටට හැඳීමේ කිසිම වරදක් නැත.

(උඹත් අරුන්ගේ පැත්තේ නේද?)


කොටට ඇඳීම හෝ සාරි ඇඳීම හෝ බ්ලව්ස් ඇදීම හෝ නිල් පාට ජොක්කු ඇඳිම හෝ බොම්බයිමොටයි කෑම ඕනෑම එකෙක්ගේ අයිතියකි. අන් අයට හානිකර නොවන වැඩ කලාට වටේ ඉන්නා උන් ඒ ගැන කරදර විය යුතු නැත.

(එහෙම කොහොමද අපේ සංස්කෘතිය රකින්නේ?)


ඒත් මෙහෙම දෙයක් තියෙනවාය.

(කොහොම දෙයක් ද?)


ඕනෙම කෙනෙක්ව බැලූ පමණින් උන් ගැන නිගමන වලට ඒම මිනිස් ස්වභාවයය. කොටින්ම සක්කරයා මිනිස් වෙසින් මේ ලෝකයට ආවොත් ඌත් එහෙම වෙනවාය.

(උඹ කොහොමද දන්නේ?)


ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් කියල සිංහලෙන් කියන්නේ ඒකටය. බැලූ බැල්මට තම තමන්ගේ නැණ පමණින් එක එකා මැන ගැනීම අපි හැමෝම හැම දාම කරන දෙයකි.

(මමත් දැන් උඹවත් මැනගෙන එන්නේ. කියහංකො)


එනිසා මහදවාලේ හිරට හිරේ, කොටට කොටේ, ලිප්ස්ටික් තලියක් මූණේ අතුල්ලගෙන, මේකප් නාගෙන, කොණ්ඩ පාට කරගෙන කෙල්ලෙක් බැයි නම් කොල්ලෙක් බැයි නම් බල්ලෙක් හරි ඉඳියි නම් ඒකා/ඒකි/ඌ තමාගේ විරුද්ධ ලිංගික සෙට් එකේ ආකර්ශනය ගන්න තමාගේ ශරීරය යොදාගන්නා ජීවියෙක් කියලා නිගමනය කිරීම කිසීම වැරැද්දක් නැතිය.

(මොකක් කිව්වා?)


ඒත් එක්කම එක එක තැන් වලට ආවේණික සම්මත වුන ඇඳුම් පැළඳුම් තියෙනවාය.

(ඔව්, දැන් උදාහරණෙකට කුඹුරට බහින්නේ අමුඩේ ගහලම විතරනෙ අපි)

විශේෂයෙන්ම ආගමික ස්ථාන වලට ඇතුල් වෙද්දි සහ ආගමික වතාවත් වල යෙදෙද්දි අඳින්න ඕන සහ හැසිරෙන්න ඕන අන්දම ගැන ඒ ඒ ආගමිකයන් අතර සම්මුතීන් තියෙනවාය.

(ඔව් ඉතින්, ඒකනෙ මේ කියන්නෙ)


එනිසා ඒ සම්මුතීන් කඩ වෙන විදිහට ඇඳගෙන ඒ තැන් වලටම ගියොත් ඒ ආගමිකයෝ තැන් තැන් වල අහු මුළු ගානේ එහෙම යන එකා/එකී ගැන නරක කතා කිරීම අපේක්ෂා කල යුතු සරල සත්‍යකි. යථාර්තයකි.

(සත්‍යක්ද? යථාර්තයක්ද? දෙකෙං මොකක්ද?)


හරියට වෙඩින්ග් එකකට අමුඩයක් ගහගෙන ගියොත් එතන ඉන්නා උන් ඒ ගැන කතා වෙනවා වගේය. ඒ කතාවෙන්නේ ගැලපෙන්නේ නැති නිසාය. සම්මතයෙන් පිට නිසාය.

(කතා වීම කෙසේ වෙතත් අලුත්ම ස්ටයිල් එක කියලා හිතාගෙන ඕක ට්‍රෙන්ඩ් එකක් කරගනීද දංනෑ)


එහෙම සම්මත විදිහට යන්න බැයි නම් මේ ලියන මම අයියා වගේ ආගමික  තැන් වලට නොයා සිටිය හැකිය.

(උඹත් පන්සලකට පල්ලියකට යන්නේ නැති කාලකණ්ණියෙක්ද?)


ඒ වගේම රෑ 12ට ජංගියක් ඇඳගෙන ගිහින් දූෂණය වුනොත් එතන වැරැද්දක් එහෙම ගිය ගෑණිගෙත් තියෙනවාය. ඒ අමු මෝඩකම වැරැද්දක් විදිහට සැලකෙනවා නම් පමණය. අමු මෝඩකම වැරැද්දක් නොවේ නම් කමක් නැතිය.

(උඹ දැන් කොයි පැත්තෙද කියහංකො)


අවසාන වශයෙන් කෙල්ලන්ගේ කකුල් නිසා බුද්ධ ශාසනය විනාශ වේය කියනා උන්ට කියන්න ඇත්තේ මේකය.

(මම එහෙම එකෙක්. දැං මොකක්ද කියන්නේ. ගේමද?)


නිරුවත් කකුළ් දෙකක් දැක්කාම සිල් බිඳගන්න මහලොකු ‘පින්වත්තු’ වෙච්චි  උඹලට වඩා වැලක් බලලා අතේ ගහලා නිදාගන්න සාමාන්‍ය කොල්ලෙක් අවංකයි කියාය. 

(නොදෝකින් තොගෙ හැකර කට ! ආයේ මගෙ බල්ලවත් එන්නෑ මේ බ්ලොග් එක පැත්ත පලාතෙ. ඔව්)


ප/ලි – 2015 ඔක්තෝබර් 15 දින පලකල සටහනකි.

සටහනට පාදක වූ නිරූපිකාවගේ නම හෝ අදාල ඡායාරූප පල නොකලේ හිතාමතාමය. 

2 responses to “ගල් නිසා සිල් බිඳගන්නා පින්වත්තු !

  1. Pingback: ගල් නිසා සිල් බිඳගන්නා පින්වත්තු ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

ප්‍රතිචාරයක් ලබා දීමට