බලේ බලේ කතරගම දෙවියන්ගෙ බලේ

“අනේ පුතේ, කාන්ති පුංචිට පිළිකාවක්ලු”

අම්මා ඒ ආරංචිය කිව්ව වෙලේ දැනුන හැඟීම විස්තර කරන්න අමාරුයි.

ඒ වෙද්දි යාන්තන් අවුරුදු දහ අට පැනපු කොළු ගැටයෙක් වෙච්චි මට ඒ ආරංචිය තදින්ම දැනුනේ මගේ ජීවිතේ සමීපතමයෙක්ට ඔය වගේ ලෙඩක් මීට කලින් හැදිලා තිබ්බෙ නැති නිසා වෙන්න ඇති

උදේ හවහ පුංචි එක්ක මරා ගත්ත පුංචිගේ සැමියා, ඒ කියන්නේ මගේ බාප්පා මේ ආරංචියෙන් පස්සේ පිස්සෙක් වගේ හතර වටේ දිව්වේ පුළුවන් දෙයක් කරලා පුංචිව බේරගන්න.

දැනගන්න ලැබුනේ තත්වය හිතුවටත් වඩා බරපතලයි කියල. පුංචිගේ පිළිකාව යටි බඩේ ඉඳලා පපුව හරියටම පැතිරිලා කියලයි දොස්තර මහත්තුරු කිව්වෙ.

ජීවිත කාලෙම ඉතුරු කරපු සේසතම වියදම් කරලා හරි මේ ගෑණිව මම බේරගන්නවා කියලයි බාප්පා අඬ අඬ කිව්වේ.

බාප්පයි පුංචියි ලෙඩේට වෛද්‍ය ප්‍රතිකාර කරද්දි දෙන්නගේ අම්මලා දෙන්නාගෙ රාජකාරිය වුනේ දේවාල ගානේ යන එක. සෙත් ශාන්ති, බෝධි පූජා කරපු එක.

බාප්පා හතර අතේ දොස්තර මහත්තුරු පස්සේ ගිහින් අන්තිමට තීරණය වුනේ පිළිකාවට දෙන එන්නත් මාලාව දීලා පුංචිව බේර ගන්න බලන්න.

—–

කාන්ති පුංචි, ඒ මගේ තාත්තගේ මල්ලිගේ බිරින්දෑ.

බාප්පටයි පුංචිටයි දරුවො හිටියෙ නෑ.

දරුවො නැති සෝ තැවුලටයි පාළුව කාන්සිය මකාගන්නයිද කොහෙද දෙන්න කලේ මොකක් හරි ඇදයක් අල්ලගෙන රණ්ඩුවක් පටන් ගන්න එක.

බාප්පගේ දින චරියාව ගෙවුනේ උදෙන්ම නැගිටලා වැඩට ගිහින් හවසට ගෙදර ඇවිත් පදමට දෙකක් දාගෙන පුංචි එක්ක මොකක් හරි වලියක් ඇදගන්න එකෙන්. පුංචිගේ දින චරියාව ගෙවුනේ උදේ ඉඳලා අහල පහල ගෑණු කෙනෙක් අල්ලගෙන ගමේම ඕපදූප කතා කර කර ඉන්න එකෙන්.

සති අන්තයේ නම් බාප්පා දවසම ඉන්නේ මතේ තමා.

බාප්පටයි පුංචිටයි දරුවෝ හිටියේ නැති නිසා කොච්චර රණ්ඩු වුනත් දෙන්නට ඉන්නේ ඒ දෙන්නා විතරක් බව බාප්පයි පුංචියි දැනගෙන හිටියා.

“ඔය දෙන්නා දැන් රණ්ඩු වුනාට ආයේ හවස් වෙද්දි යාලු වෙනවා. අන්තිමට රණ්ඩු බේරන්න ගිහින් නරක මිනිස්සු වෙන්නෙ අපි”

රණ්ඩු කියාගෙන දෙන්නා නෑදෑයෝ ගාවට ගියාම හැමෝම වගේ උත්තර දෙන්නේ ඔහොම.

කොච්චර රණ්ඩුසරුවල් කරගත්තත් උදේ මරාගෙන හවස යාලුවෙලා පන්සල් යන ජාතියේ දෙන්නා.

ආදරය, වෛරය, සතුට, කඳුල එක්ක ගෙවුන ඒ දෙන්නාගේ ජීවිත දෙකම දෙදුරුම් කෑවේ මේ අනපේක්ෂිත ආරංචිය නිසා

පුංචිව කොහොම හරි බේරගන්නවා කියන දැඩි අධිෂ්ඨානෙන් හිටිපු බාප්පගෙයි පුංචිගෙයි ජීවිත ගෙවුනේ ගෙදරින් ඉස්පිරිතාලෙට, ඉස්පිරිතාලෙන් ගෙදරට. දෙන්නගේම ගැලවුම්කාරයො වගේ පෙනුනේ දොස්තර මහත්තුරු

බාප්පයි පුංචියි ඉස්පිරිතාල ගානේ යද්දි දෙන්නගෙම අම්මලා දෙන්නා ගියේ ජය ශ්‍රී මහා බෝධියට.. කතරගම දෙයියො ගාවට. පුංචි වෙනුවෙන් ඒ දෙන්නා බාරයක් හාරයක් වුනේ නැති තැනක් නැති තරම්

ඔහොම ඔහොම මාස ගාණක් ගෙවුනා.

පුංචිගේ බඩ ඇතුලේ සෑහෙන කොටසක් අයින් කරලා, එන්නත් මාලාව මාස ගාණක් දුන්නයින් පස්සේ තත්වය එන්න එන්න හොඳ අතට හැරීගෙන එනබව කිව්වමයි නොතිබුන බලාපොරොත්තුවක් අපේ හිත් ඇතුලේ ආයේ දළුලාගෙන ආවෙ.

කොහොමෙන් කොහොම හරි පුංචිට හොඳ වුනා. ඔව්, පුංචිගේ පිළිකාව හොඳටම හොඳ වුනා.

—–

මොකක් හරි දෙයක් වැරදුනාම ඒ වැරැද්ද බාර ගන්න කවුරුත් නැති වුනාට මොකක් හරි දෙයක් හරි ගියාම ඒකෙ හොඳ අහගන්න ගොඩක් දෙනා ඉස්සරහට එන බව අපි කාටවත් අමුතුවෙන් කියල දෙන්න ඕන කාරණයක් නෙමේනෙ.

ඒ වගේ පුංචිගේ හොඳ වුන පිළිකාවට හොඳ අහගන්න මුළින්ම ඉදිරිපත් වුනේ මේ ලෝකයේ දෙන්නෙක් නෙමේ. අදෘෂ්‍යමාන බලවේග දෙකක්.

ඉදිරිපත් වුනා නෙමේ, ඉදිරිපත් කලා කිව්වොත් වඩා හරි

පුංචිගෙ අම්මාට අනුව පිළිකාව හොඳ කරල තියෙන්නෙ ශ්‍රී මහා බෝධිය.. බාප්පගේ අම්මට අනුව, ඒ කිව්වේ මගේ ආච්චිට අනුව පුංචිගේ පිළිකාව හොඳ කරල තියෙන්නෙ කතරගම දෙයියො..

හොඳම වැඩේ ඒක නෙමේ. කෝමෙන් කෝම හරි පුංචිට ඇවිද ගන්න පුළුවන්කම ආපු ගමන් කතරගම දෙවියන්ට වුන බාරය ඔප්පු කරන්න කියල නෑදෑ පරපුරම ගියා උන්නාන්සේ වැඩලා ඉන්න ප්‍රදේශයට. ඒකියන්නේ කතරගමට.

හෝටලේක රෑ නැවතිලා ඉඳලා කෝමෙන් කෝම හරි බාරය ඔප්පු කරන්න කියල පූජා වට්ටියත් හදාගෙන සෙට් වුනා දේවාලෙට ඇතුල් වෙන පෝළිමට.

ඔපරේෂන් එකේ කැපුම් තුවාල තවම හරියට හොඳ වෙලා නොහිටිය පුංචි පූජා වට්ටිය උස්සගෙන පෝළිමේ පැය ගානක් හිටගෙන හිටියේ ලේසියෙන් නෙමේ. තමාව බේරලා දුන්න කතරගම දෙවියන්ට තියෙන භක්තිය නිසාමයි.

කොරේ පිටට මරේ කියල පුංචිට ආයේ බඩේ අමාරුවක් ආවා. මොකද බඩේ තිබ්බ කැපුම් තුවාල, මැහුම් ඒ වෙනකොට තවම හරියට හොඳ වෙලා තිබ්බෙ නැති නිසා. ආයේ බඩේ ඔය අමාරුව ආවේ පූජා වට්ටිය උස්සගෙන පැය ගාණක් හිටපු නිසා කියන එක මොළේ කළඳක් තියෙන ඕනම කෙනෙක්ට තේරුන දෙයක්.

ඒත් බාප්පටයි, පුංචිටයි, දෙන්නගේ අම්මලා තාත්තලාටයි අනුව වෙලා තියෙන්නේ එහෙම දෙයක් නෙමේ,

බඩ ඇතුලේ තුවාල හරියටම තුවාල හොඳ වෙලා නෑලු. කතරගම දෙවියෝ පෙන්නුම් කලාලු හරියටම තවම ලෙඩේ හොඳ නැහැ, ගිහින් තව බේත් කරන්න ඕන කියල..

මේක මීට අවුරුදු දහයකට විතර කලින් වෙච්චි සිද්ධියක්. පුංචි දැන් හොඳට ඉන්නවා කිසිම කරදරයක් ලෙඩක් නැතුව.

අන්තිමට ලෙඩේ හොඳ වුන එක බැර වුනේ කතරගම දෙවියන්ගේ ගිණුමට මිසක අච්චර අවුරුදු ගාණක් තිස්සේ අඩියෙන් අඩිය දියුණු වුන වෛද්‍ය විද්‍යාවටවත්.. වෛද්‍යවරුන්ටවත් නෙමේ.

අදත් අපේ ආච්චි ඒ සිද්ධිය ගැන කතා කරද්දි කතා කරන්නේ හරිම භක්තියෙන්. කතරගම දෙවියො ගැන. ඒ ගැන කතා කරන හැම වාරයකදිම ආච්චි කියන්නෙ..

“පුතේ, කතරගම දෙවියන්ගේ බලේ තමා බලේ”.. කියල

 

 

Advertisements

8 responses to “බලේ බලේ කතරගම දෙවියන්ගෙ බලේ

  1. Pingback: බලේ බලේ කතරගම දෙවියන්ගෙ බලේ | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. කතරගම දෙවියෝ සිංහළ කියවන්න දන්නවානම් මේ බොලොග් එක සුන්.

    Like

    • හොඳ වෙලාවට දෙවිවරු බ්ලොග් කියවන්නෙ නැත්තෙ

      Like

  3. බලේ බලේ….

    මිථ්‍යාවෙන් ගොඩ එනවා මිසක් ගොඩගන්න බැහැ කියලා තමයි මට හිතෙන්නේ. ප්‍රශ්න කිරීමකින් තොරව සියල්ල නිවැරදියි කියා පසුපස හඹායන්නන්ගේ ලෝකවල ඔය ඕනතරම් කෂඩ වීරයෝ බිහිවෙන්නේ. කියන්නන් වාලේ කියවන, අහන්නන් වාලේ අහන, ලියන්නන් වාලේ ලියන සමාජයක මොන ගොන් ආතල් එකක් දුන්නත් පස්සෙන් දුවන්න මිනිස්සු ඉන්නවා. දේශපාලනයෙත්, අනිත් ඕනැම අංශයකත්, ප්‍රශ්න නොකරන මිනිසුන් ඉන්න තාක් තත්වය ඔහොමම තමයි. බොරුවෙන්ම වැහිච්ච සමාජයක්. ඔන්ලයින් කට්ටඩින්ගේ ලෝකයක අපි ආතුරයෝ හැර වෙන මොක්කුද..

    Liked by 1 person

    • මිනිස්සු තම තමන්ගේ ජීවිත වල තියෙන හිස් තැන් මොනව මොනව හරි වලින් පුරව ගන්නවා බං. ආගමික විශ්වාස වලින් පිරෙන්නේ, මේ වගේ මිත්‍යා ඇදහිලි වලින් පිරෙන්නේ අන්න ඒ ලොකු හිස් තැනක්

      Like

  4. රාවණා නැගිටල ටොයිලට් ගිහිල්ල ආවට පස්සෙ කතරගම ඕනෙ නැතිවෙයි අපිට.
    ඉඳල හිටල හීනෙන් නාත දෙයියො ආවහම මදෑ

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s