මහදැනමුත්තෝ හෙවත් ස්පෙශල් පොරවල්

 

මොවුන් සාමාන්‍ය මිනිසුන් ගෙන් වෙන් වූ විශේෂ යැයි සැලකෙන අතිවිශේෂ සැලකිලි ගරුබුහුමන් ලබන පිරිසකි.

මුළු සමාජයකටම හොඳ සහ නරක කියා දෙන්නේ මොවුන්ය. ආහාරයට ගත යුතු දේ නොගත යුතු දේ, ආහාරයට ගත යුතු මස් මාංශ, නොගත යුතු මස් මාංශ, ඝාතනය කල යුතු සහ නොකල යුතු සතුන් ගැන කියා දෙන්නේ මොවුන්ය. කාන්තාවන් ගේ ඇඳුම් භාවිතය සහ රෙද්දවල් වල දිග පළල තීරණය කරන්නේ මොවුන්ය. රටේ ජනතාව මත් පැන් ගත යුතු සහ නොගත යුතු දිනයන් තීරණය කරන්නේ මොවුන්ය. ජීවත්විය යුතු අන්දම සහ හොඳ නරක ගැන අවවාද අනුශාසනා දෙන්නේ මොවුන්ය.

ඔවුන් අපේ මහදැනමුත්තෝ ය.

පාලකයා ඇතුළු මුලු සමාජයටම අවවාද අනුශාසනා කලත් මේ මහදැනමුත්තන්ට සමාජය ගැන ප්‍රායෝගික දැනුමක් නැත. සැලකිය යුතු මට්ටමක උගත්කමක් නැත. රටකරවන සැටි සහ ජීවත්විය යුතු සැටි කියා දීම තම වෘතිය කොට ගෙන සිටින මොවුන් නීතිය ගැන හදාරා නැත, විද්‍යාව ගැන දැනුමක් නැත, ආර්ථිකය ගැන දැනුමක් නැත, දර්ශනය ගැන දැනුමක් නැත. කුඩා කලම තම දෙමාපියන් ආර්ථික හා සමාජීය ප්‍රශ්න නිසා පන්සලට රැගෙන ගොස් දැමූ දිනයේ සිටම එකම විශයක් ගැන පොත් ගොඩක් ගිරව් සේ කටපාඩම් කරගෙන අවසානයේ මුලු සමාජයටම ජීවත් විය යුතු අන්දම කියා දීමට වීරයන් සේ ඉදිරිපත් වේ.

එය එසේ වුවත් අප සමාජයේ මිනිසුන් මේ මහදැනමුත්තන්ට අතිවිශේෂ වූ ස්ථානයක් ලබා දෙන්නේ හේතු කාරණා කිහිපයක් පදනම් කොටගෙනය.

ඒවා නම් ඔවුන් විසින් පිළිගන්නවා යැයි කියනා ලෝක දැක්මත්, ඔවුන් විසින් භාවිතා කරනා නිල ඇඳුමත්, ඔවුන් විසින් සම්මත කර ගත් කොණ්ඩය කැපීමේ ක්‍රමයත් සහ අදාල ලෝක දැක්ම ගැන කටපාඩමින් ඇද බෑමට ඇති හැකියාවත් යන කාරණයන්ය. රටකම ගරුබුහුමන් ලබන ‘මහදැනමුතු’ පට්ටම ලබා ගැනීමට සපුරාලිය යුතු මූලික කාරණා එපමණය.

සමාජය විසින් ඔවුන්ගේ දැනමුතුකම් ඉස්මුදුනින් පිළිගත් නිසාම සන්සුන් ලෙස අවවාද අනුශාසනා දෙමින් සිටි මේ මහදැනමුත්තන් වර්තමානයේ තමාගේ දැනමුතුකම් මිනිසුන්ගේ ජීවිත මත බලෙන් පැටවීමට උත්සාහ දරයි. තමාගේ වාසභූමිය වන පන්සල තුල සහ විශේෂ ආගමික අවස්ථාවලදී ගිහියන්ගේ නිවෙස් වල සන්සුන් ලෙස තමාගේ දැනමුතුකම් එළිදැක්වූ මොවුන් දැන් පාරට බැස උද්ඝෝශණ කරයි. වැටලීම් සිදුකරයි. තමාගේ අවශ්‍යතා සහ වුවමනා මුදුන්පත් කරගැනීම උදෙසා මෙහෙයුමක් දියත් කරන නිල නොවන ‘මහදැනමුත්තන්’ ගේ හමුදාවක් සේ ක්‍රියා කරයි.

සමාජය විසින් මේ හැසිරීම දෙස වික්ෂිප්ත වී බලා සිටින්නේ ඔවුන්ට මේ නුහුරු හැසිරීමට ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසද කියා සිතාගත නොහැකි නිසාය. නීතිය ඉදිරියට පැමිණවිය යුතු තක්කඩියෙක් සහ තමා කොන්දේසි විරහිතව ගරු කරන තැඹිලි පැහැති නිල ඇඳුමත් යන කාරණා දෙකෙන් තමා මුල් තැන දිය යුත්තේ කුමකටද යැයි සිතාගත නොහැකිව අසරණව නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. තමා විසින් අතිවිශේෂ කොට සැලකු මහදැනමුත්තන් තුලින් තක්කඩි පිරිසක් බිහීවීම ඔවුන්ට නුහුරු ගැටලුවක් නිර්මාණය කොට ඇත.

තක්කඩි හැසිරීමට ලැබිය යුතු නිවැරදි ප්‍රතිචාරය ලබාදීම වළකාලන එකම සහ ප්‍රධානම සාධකය වී ඇත්තේ මේ ‘තක්කඩි මහදැනමුත්තන්’ විසින් භාවිතා කරන නිල ඇඳුමයි. මෙය වෙඩි නොවදින නිල ඇඳුමකි, අවශ්‍ය ප්‍රමාණයට විවේචන නොලබන නිල ඇඳුමකි, රටේ පාලකයින් දණ නමන නිල ඇඳුමකි, ඇඳගෙන සිටින පුද්ගලයාගේ ක්‍රියාකලාපය, දැන උගත්කම, භාශා විලාශය, යටපත් කොටගෙන ඕනෑම ජගතෙක් නිහඬ කිරීමට සමත් නිල ඇඳුමකි. ස්පෙශල් යුනිෆෝම් එකකි. මේ නිල ඇඳුමේ පාදඩ, තක්කඩි හැසිරීම් ඉදිරියේ නීතියේ නිල ඇඳුම බල රහිත වී බලා සිටින්නේ ඇටිකෙහෙල් කෑ රිලව් ලෙසය.

සැබෑ ලෝකයෙන් ඈත්ව වෙනම මනෝ ලෝකයක ජීවත් වෙමින්, නිකන් ලැබෙන දෙයක් ආහාරයට ගනිමින්, දෙමාපියන්ගෙන් පවා වැඳුම් ලබමින් සාමාන්‍ය ජීවන රටාවක් අහිමිවීම නිසා තමා තුල ගොඬනැඟුන, අමාරුවෙන් සිරකරගෙන සිටි මානසික සහ ලිංගික පීඩනයන් නිදහස් කර ගැනීමට මේ පිරිස විසින් මෙම නිල ඇඳුම ආයුධයක් කොටගෙන ඇත. මෙම නිල ඇඳුමට සමාජය තුළ ඇති බලය හඳුනා ගෙන ඇති පාලකයාද මෙම නිල ඇඳුම සිය දේශපාලන අරමුණු ඉටුකර ගැන්ම උදෙසා අවියක් බවට පත් කරගෙන ඇත.

මීට කාලයකට පෙර මහදැනමුත්තෙක් විසින් සමාජය ඉදිරියේ නොමනා හැසිරීමක් දැක්වූ විට ඒ එක් සිද්ධිය වුවත් මුලු මහත් සමාජය තුලම ඇති කලේ කම්පනයකි. එවන් ප්‍රවෘත්ති ඉතාම දුර්ලභ වූ අතර එවන් දේ සිදුවූ විට එම ප්‍රවෘත්තිය පැතිර යන්නේ ලැව් ගින්නක් ලෙසිනි. නමුත් වර්තමාන තත්වය මීට හාත්පසින්ම වෙනස්ය. වර්තමානයේ මේ මහදැනමුත්තන්ගේ පාදඩ හැසිරීම් සමාජයට සැලකිය යුතු ප්‍රවෘත්තියක් නොවේ. එවන් සිදුවීම් මිනිසුන්ට කම්පනයක් ඇති කරන්නේ නැත. හේතුව, මහදැනමුත්තන් විසින් ඒ හැසිරීම් සාමාන්‍ය හැසිරීම් තත්වයට පත් කොට ඇති නිසාය. අප සමාජයේ මිනිසුන්ට ඒවා දැන් දවසේ තවත් එක් ප්‍රවෘතියක් පමණි.

මෙපමණ කල් සමාජයේ ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා වෙනස් හැසිරීම් රටාවක් පෙන්නුම් කල මේ මහදැනමුත්තන් තමාගේ අවවාද අනුශාසනා දුන්නේද ඔවුන්ටම ආවේණික වූ ක්‍රමයකටයි. නිසි ස්ථානයේදී, නිසි වටපිටාවක් තුල, නිසි හැසිරීම් රටාවක් පෙන්වමින් ඉදිරිපත් කල ඒ අදහස් සමාජය පිළිගත්තේ කොන්දේසි විරහිතවය. නමුත් වර්තමාන තත්වය මෙය නොවේ. නිසි වටපිටාවක් තුල සන්සුන් අන්දමට ආගමික අදහස් සහ අනුශාසනා පමණක් ඉදිරිපත් කල මහදැනමුත්තන් වෙනුවට වර්තමාන සමාජය දකින්නේ වේදිකා වල නැග, යටිගිරියෙන් කෑගසමින්, පරුෂ වචන කියමින් ආගමික මතවාද වලට සීමා නොවන දේශපාලනික මතවාද පවා ඉදිරිපත් කරන සාමාන්‍ය මිනිසෙක්ගේ හැසිරීම් රටාවකි. තමා සහ මහදැනමුත්තා අතර ඇති එකම වෙනස මහදැනමුත්තා අඳින නිල ඇඳුම පමණක්ය යන්න සාමාන්‍ය මිනිසාට නොදැනීම සිතට කාවැදෙමින් ඇත. ආගමික අදහස් වලට සීමා නොවූ මහදැනමුත්තා තමාගේ සමාජීය සහ දේශපාලන අදහස් සමඟ ගැටෙන කරුණු ඉදිරිපත් කරන අයුරු දකින සමාජය මෙයට ප්‍රතිචාර දැක්විය යුතු අන්දම සිතාගත නොහැකිව නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. තමාගේ සීමා තුල සිට මහදැනමුත්තන්ව විවේචනය කිරීම යන නුහුරු හැසිරීමට අනුගත වීමට උත්සාහ කරයි.

තත්වය මෙසේ තිබියදී සමාජයේ තවත් කොටසක් තම දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට සහ තමාගේ ආගම්වාදී, ජාතිවාදී අවශ්‍යතා ඉටුකර ගැනීමට මෙන්ම තමාගේ එදිනෙදා ආර්ථික සහ ලිංගික පීඩනයන් එළියට දැමීමට මෙම මහදැනමුත්තන්ගේ තක්කඩි හැසිරීම වීරත්වයෙන් දකියි.

අතීතයේ මහදැනමුත්තන් විසින් ආගමික අවවාද, අනුශාසනා ලබා දෙන විට සාධු කාර දුන් මොවුන් දැන් මහදැනමුත්තන්ගේ කුණුහරප ඉදිරියේ විසිල් ගසයි, හුරේ දමයි, ජය ඝෝෂා, ප්‍රීති ඝෝෂා නඟයි, අත්පොළසන් දෙයි.

සමාජය විසින් මෙම මහදැනමුත්තන්ව “ස්පෙශල්” ලෙස සැළකුවද ඔවුන් ද රටේ සාමාන්‍ය පුරවැසියන් ය. එබැවින්, රටේ සාමන්‍ය නීතියෙන් ඔවුන්ව නිර්මුක්ත කළ යුතු නැත. යථාර්තය නම් එය යි. නමුත්, මේ බව අපට සමාජය ඉදිරියේ කියන්නට නොහැකිය. කිව්වොත් “ආගමක්, ජාතියක්, සංස්කෘතියක් නැති අය” ලෙස ලේබල් ගසයි, සමාජයෙන් කොන් කරනු ලබයි.

මෙවන් සාමාන්‍ය මිනිසුන් කොටසක්ව නොලැබිය යුතු තැනකට ඔසවා තැබීමෙන්, සමාජයෙන්ම ඈත් වී සමාජ ජීවිතය ගැන ප්‍රායෝගික දැනුමක් නැති මෙවන් පිරිසකගෙන් පවුල් ජීවිතය ගැන, ගේ දොර කටයුතු ගැන පවා උපදෙස් ලබා ගනිමින් කටයුතු කිරීම තරම් අනුවණ ක්‍රියාවක් තවත් තිබේද?

මෙවන් පිරිසක ගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නා සමාජයක් වැටී තිබෙන තත්වය ගැන පුදුම වීමට දෙයක් නැත.

තමාගේ සිංහල සංස්කෘතිය ගැන, බෞද්ධකම ගැන අනිත් අයට වැදිබණ දෙසන්නේත්, අන් අයගේ ලිංගික ජීවිත ගත කල යුතු අන්දම ගැන සම්මුති සාදන්නේත්, ගැහැණිය විසින් ඇඳිය යුතු ඇඳුම සහ එහි දිග පළල කුමක් විය යුතුද යන්න තීරණය කරන්නේත්, ධනවතුන් තමාගේ මුදල් පරිහරනය කල යුත්තේ කෙසේද යන්න ගැන නිගමන දෙන්නේත්, ධනවතුන්ගේ දරුවන් නයිට් ක්ලබ් ගානේ යෑම ප්‍රශ්න කිරීමට තමාට අයිතියක් ඇති බව සිතන්නේත්, අනිත් අය ජීවත් විය යුතු අන්දම ගැන බහුශ්‍රැත වදන් තෙපලන්නේත්, තක්කඩින්ට තම ඡන්දය පාවිච්චි කොට පාලකයින් බවට පත් කරන, සමාජය ගැන ප්‍රායෝගික දැනුමක් නැති පිරිසක් මහදැනමුත්තන්සේ සලකන අපේ සමාජයේම බහුතරයක් වන මිනිසුන්ය.

ප/ලි – September 6, 2015 දින පලකල පැරණි සටහනකි

Advertisements

6 responses to “මහදැනමුත්තෝ හෙවත් ස්පෙශල් පොරවල්

  1. Pra Jay + “+”

    විධිමත් අධ්‍යාපනයෙන් පරතෙරට බොහෝ දෙනා පුරවැසියකු විසින් හැදැරිය යුතු නිර්දේශිත විශය මාලාවෙන් කොටසක් පමණක් හැදෑරූ මේ මහදැණමුත්තලා ව කරේ තියාන යනවා මදිවට බුරුවන් කර තියාන නොයන අපිටත් සමච්චල් කරනවා.

    Liked by 1 person

  2. මේ ස්පෙශල් උදවියගේ අලුත්ම රාජකාරිය තමයි සමාජ දූශකයින්ට ඇප මුදල් එකතුකිරීම. මේ සමහර එව්වෝ නම් මහදැනමුත්තෝ නෙමෙයි… මහදැන*ත්තෝ.

    Liked by 1 person

    • බැලුව බං කේස් එක හොයා ගන්න බෑ. කමක් නෑ අයින් කරහන් 🙂

      Like

      • ඔය වගේම ෆොටෝ සීන් එකක් තියෙනවා රවීගේ නිදහස් සිතුවිලි බ්ලොග් එකේ බ්ලොග් රෝලෙත්. ඒකත් දැන් සති ගානක් තිස්සේ මම නොටිස් කරා.

        Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s