බහුබූත විශ්වාස සහ තාත්තාගේ ඩී.එන්.ඒ ප්‍රශ්නය

“ඔයා මගෙන් මගේ ආගමික විශ්වාස ගැන ප්‍රශ්න කරන්නේ කොහොමද? මම ඒවා පිළිගන්නේ මගේ විශ්වාසය නිසා. ඔයාට බෑ මම පිළිගන්න දේ වැරදියි කියලා ඔප්පු කරන්න. එනිසා මම වැරදි නෑ. ඔයාගේ තාත්තා ඔයාගෙමයි කියලා දන්නේ ඔයා D.N.A පරීක්ශනයක් කලාද?”

බොහෝ විට ආගමික විශ්වාස, හොල්මන් මෙන්ම භූතාත්ම ගැන කියැවෙන සිද්ධින්, පිටසක්වල ජීවීන් ගැන කියැවෙන සිද්ධීන් , අධිමානසික හැකියාවන් ගැන කියැවෙන සිද්ධීන් වැනි ඔප්පු කිරීමට නොහැකි අද්භූත, අධිස්වභාවික දේවල් සම්බන්ධ ප්‍රකාශ අභියෝගයට ලක්වූ විට ඒ විශ්වාස පදනමකින් හෝ සාධාරණ හේතුවක් නැතිව පිළිගන්නන් විසින් යොමු කරන තර්කයකි, මෙම තාත්තාගේ ඩී.එන්.ඒ ප්‍රශ්නය.

පළමුව කුමන ප්‍රකාශ සඳහා සාක්ශි විමසීම සහ ඔප්පු කිරීමට අභියෝග කල යුතුද, කුමන ප්‍රකාශ සඳහා එසේ නොකල යුතුද කියන එක තේරුම් ගැනීම අවශ්‍යයි.

එදිනෙදා ජීවිතයේ මිනිසුන් හා ගැටෙන විට අප ඔවුන් විසින් කරනා සෑම ප්‍රකාශයක්ම අභියෝගයට ලක් කරන්නේ නැත. මිතුරෙක් සමඟ පිළිසඳරක යෙදෙන විට, ඔහු පෙරදින රාත්‍රී ආහාරයට ගත්තා යැයි කියන කෑම වර්ගය හෝ ඔහුට පෙර දින යම්කෙනෙක් මුණ ගැසුනු සිද්ධියක් පැවසූ විට ඔහුගේ සෑම ප්‍රකාශයක්ම අභියෝගයට ලක් කලහොත් එය අසාමාන්‍යය හැසිරීමකි. කිසිවෙක් ඔහු රාත්‍රී ආහාරයට ගත්තේ මොනවාද? යම් පුද්ගලයෙක් හමුවීම ගැන සාක්ශි ඉදිරිපත් කරන තුරු මම එය පිළිනොගනිමි කියා ප්‍රශ්න කරන්නේ නැත. යම් කෙනෙක් ඔහු වෙත ඉදිරිපත් වන සෑම ප්‍රකාශයක්ම ප්‍රශ්න කරන්නට, සාක්ශි විමසන්නට පටන් ගත හොත් ඔහු අන් අය ඉදිරියේ විහිලුවට, උපහාසයට ලක් විය හැක.

නමුත් එයින් කියැවෙන්නේ නෑ ඔහු පවසන සෑම කරුණක්ම කොන්දේසි විරහිතව අප විසින් සත්‍යය යැයි භාර ගන්නා බව. උදාහරණයකට ඔහු විසින් භූතාත්මයක් ගැන කරනා ප්‍රකාශයක් හෝ පිටසක්වල ජීවීන් දුටු බවට හෝ ප්‍රකාශයක් කලොත් අප විසින් ඒ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයකටයි. අප විසින් ක්‍රමයෙන් ඒ සිදුවීම ගැන ප්‍රශ්න කිරීමට සහ විමර්ශනය කිරීමට පෙලඹෙන අතර කලින් ප්‍රකාශ වලට වඩා තර්කානුකූලව බුද්ධියෙන් විමසීමට, සිතා බැලීමට පෙලඹෙයි. ඔහුගේ ප්‍රකාශය පිළිගැනීමට නම් ඔහු විසින් ඒ සඳගා වලංගු හේතු ඉදිරිපත් කල යුතු බව ඔබත් මමත් පිළිගන්නා දෙයක්.

මුල් අවස්ථාවේ එදිනෙදා සිදුවන සාමාන්‍ය දේවල් ඔප්පු කිරීමට අභියෝග කිරීම අසාමාන්‍ය හැසිරීමක් වනවා සේම, සියල්ලන් විසින් ඉදිරිපත් කරන සියලු ප්‍රකාශ කොන්දේසි විරහිතව, සාධාරණ හේතු රහිතව සත්‍යය යැයි පිළිගැනීමද අසාමාන්‍යය හැසිරීමකි. පළමු හැසිරීම් රටාව මෙන්ම මේ හැසිරීමද අන් අයගේ විහිලුවට සහ උපහාසයට ලක් විය හැකි හැසිරීමකි.

යම් සිදුවීමක හෝ ප්‍රකාශයක අසාමාන්‍යය බව වැඩිවෙත්ම එය පිළිගැනීමට පෙර ප්‍රශ්න කිරීම, සෝදිසි කිරීම සහ සිතා බැලීම බුද්ධිමත් මනුෂ්‍යයෙක්ගේ ලක්ශණයක්. එසේ නොකර තමාගේ කැමති, අකමැතිකම් මත පදනම්ව යම් යම් දේ පිළිගන්නා කෙනෙක් පහසුවෙන් රැවටිය හැකි පුද්ගලයෙක් බවට පත්වේ.

කෙනෙක් අධිස්වාභාවික (supernatural) ප්‍රකාශයක් ඉදිරිපත් කල විට ඔහු විසින් ඒ ප්‍රකාශය සනාථ කිරීමට සාක්ශි/හේතු ඉදිරිපත් කල යුතුයි. “මගේ අදහස මෙයයි, මම ඒ අදහස දැරීමට හේතුවූ සාක්ශි සහ හේතු මේවායි” යනුවෙන්. වෙනත් කෙනෙකු විසින් ඒ ප්‍රකාශය දැරීමට ඔහු ඉදිරිපත් කල සාක්ශි ප්‍රමාණවත් නැති බව හෝ ඔහු ඉදිරිපත් කල සාක්ශි වලින් ඒ ප්‍රකාශය ඔප්පු නොවන බව පෙන්වූ විට ඒ අදාල ප්‍රකාශය පිළිගැනීමට සාධාරණ හේතු ඉදිරිපත් නොවීම නිසා ඒ ප්‍රකාශය බැහැර කිරීමට සිදුවෙයි.

යම් දෙයක් ගැන සාක්ශි ඉදිරිපත් නොවීම නිසා එය ප්‍රතික්ශේප කිරීමෙන් කියැවෙන්නේ එය සත්‍ය විය නොහැකි බව නොවේ. තවමත් එය සත්‍යය යැයි පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ශි ඉදිරිපත් වී නැති බවයි. එමෙන්ම තර්කානුකූලව විමර්ශනය කර බැලීමේදී කිසිදා සත්‍යය විය නොහැකි යම් ප්‍රකාශයක් ඉදිරිපත් වුවහොත් එම ප්‍රකාශය පිළිනොගන්නා බව සහ එම ප්‍රකාශය සත්‍යය යැයි පිළිනොගැනීමට හේතු ඉදිරිපත් කල හැකිය.

ප්‍රකාශයක් ඉදිරිපත් කරන පුද්ගලයා මත ඒ ප්‍රකාශය ඔප්පු කිරීමේ වගකීම පැවරී ඇති අතර කිසිවෙක් මත ඒ ප්‍රකාශය අසත්‍යය බව ඔප්පු කිරීමේ වගකීමක් පැවරී නැත.

උදාහරණයක් වශයෙන් යම් කෙනෙකු විසින් ඔබ වෙත යම් අධිස්වාභාවික සිද්ධියක් ගැන ප්‍රකාශයක් ඉදිරිපත් කලා යැයි උපකල්පනය කරන්න.

“මගේ උරහිසේ තිස්සදේව නම් අදෘශ්‍යමාන යක්ශයෙක් සිටින අතර ඒ යක්ශයා විසින් මට සෑම දෙයක් ගැනම අවවාද, අනුශාසනා වලින් උදව් කරයි. ඒ යක්ශයා මේ අවස්ථාවේ පවසා සිටිනවා ඔබේ යහපැවැත්මට ඔබ විසින් වහාම ඔබේ සැමියාව/බිරිඳව දික්කසාද කල යුතු බවත් එසේ නොකල හොත් ඔහු ඔබට ශාප කොට මහත් වූ විපත් ගෙන දෙන බවත්..”

මෙවන් ප්‍රකාශයක් ඔබ වෙත ඉදිරිපත් වුවහොත් එසැනින්ම ඔබ විසින් ඔබගේ සැමියාව/බිරිඳව දික්කසාද කරන්න තීරණය කරනවාද? ඔබට ඔප්පු කල හැකිද ඔහුගේ උරහිසේ තිස්සදේව නම් අදෘශ්‍යමාන යක්ශයෙක් නොසිටින බව? ඔබට ඔප්පු කිරීමට නොහැකි වීම නිසාම ඔබ විසින් ඒ ඔබ වෙත ඉදිරිපත් වූ ප්‍රකාශය සත්‍යය වේ යැයි ඔබ විසින් පිළිගනු ලබනවාද?

එයින් කියැවෙනවාද ඔහු විසින් ඒ ඉදිරිපත් කල ප්‍රකාශයට ඔබේ ජීවිතයට බලපාන පරිදි වැදගත්කමක් දිය යුතු බව?

යම් ප්‍රකාශයක් ඉදිරිපත් වූ විට එය අසත්‍යය යැයි ඔප්පු කිරීම කිසිවෙක්ට කල නොහැකි නිසා එසේ ඉදිරිපත් වන සෑම ප්‍රකාශයකම සත්‍යතාවයක් ඇතැයි සිතන්නට පෙලඹුනහොත් අපට යථාර්තය සහ මිත්‍යාව වෙන් කර ගැනීමට නොහැකිවනු ඇත. ලෝකය පුරා මිනිස් ඉතිහාසයේ මුල් කාලයේ පටන් අද දක්වා සෑම ශිෂ්ඨාචාරයකම, සංස්කෘතියක්ම වටා ගෙතුනු ජනප්‍රවාද, හොල්මන් කතා, ආගමික විශ්වාස, දේව විශ්වාස කොන්දේසි විරහිතවම අපට සත්‍යය යැයි පිළිගැනීමට හෝ සත්‍යය වීමට හැකියාවක් ඇති බවට උපකල්පනය කිරීමට සිදුවනු ඇත.

එමෙන්ම මිනිසුන් විසින් ඔවුන්ට පැහැදිලි කිරීමට අපොහොසත්වන සිද්ධීන් වෙතට ගුප්ත බලයන්, දේව විශ්වාස, ආගමික ඉගැන්වීම් වැනි පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට පෙලඹෙයි.

ඔවුන් විසින් යම් සිදුවීමක් පැහැදිලි කිරීමට ‘දෙවියන්’ යන සංකල්පය යොදාගත හොත් ඔහුගේ ඒ ප්‍රකාශය අර්ථ විරහිත ප්‍රකාශයක්, හේතුව ඒ ප්‍රකාශය කිරීමට පෙර ඔහු විසින් ‘දෙවියන්’ යනුවෙන් කෙනෙකු සිටින බවට පූර්ව නිගමනයකට පැමිණ ඇති නිසා. ඒ ප්‍රකාශය කිරීමට කලින් ඔහු විසින් ‘දෙවියන්’ යනුවෙන් කෙනෙකු සිටින බවට සාක්ශි ඉදිරිපත් කොට ඒ සංවාදය අවසන් කල යුතුයි.

එසේම යම් සිදුවීමකට අධිස්වාභාවික පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන මිනිසුන් දරන තවත් මතයක් නම්, ඔවුන්ගේ ඒ අධිස්වාභාවික සිදුවීම ප්‍රතික්ශේප කිරීමට නම් ඒ ප්‍රතික්ශේප කරන්නා විසින් අදාල සිදුවීමට ඔහුගේම වෙනත් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කොට එය හරි බව ඔප්පු කල යුතු බව. මේ මතය සම්පූර්ණයෙන් වැරදි මතයක්.

ඔබට හා මට යම් දෙයක් පැහැදිලි කිරීමට හැකියාවක් නොමැති බවෙන් කියැවෙන්නේ, ඔබට හා මට ඒ දෙය පැහැදිලි කිරීමට නොහැකි බව පමණයි. එයින් කියැවෙන්නේ නෑ ඔබ ඉදිරිපත් කරන ඕනෑම පැහැදිලි කිරීමක් සත්‍ය සේ මා විසින් පිළිගත යුතු බව, මා විසින් යම් සිදුවීමක් පැහැදිලි කිරීමට අපොහොසත් වීම නිසාම.

අපට සෑම දෙයක්ම පැහැදිලි කිරීමට හැකියාව තිබිය යුතුය, ඒ හැකියාව මේ මොහොතේ තිබිය යුතුය යන අදහස වැරදි අදහසක්.

කෙනෙක් නොදන්නා දෙයකට ඔහු විසින් යම් අධිස්වාභාවික පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමෙන් ඔහු කරන්නේ ‘මට එය පැහැදිලි කිරීමට නොහැකි වුවත් මට එය පැහැදිලි කල හැක. මගේ පැහැදිලි කිරිම නම් එය දේව ක්‍රියාවක් බවයි’ යනුවෙන් සාවද්‍ය ප්‍රකාශයක් කිරීමක්.

කෙනෙක්ට යම් දෙයක් පැහැදිලි කිරීමට නොහැකිනම් එයින් කියැවෙන්නේ ඒ කෙනාට ඒ දේ පැහැදිලි කල නොහැකි බව පමණි. ඔහුගේ/ඇයගේ ප්‍රියතම මිත්‍යා කතා යොදාගෙන එය පැහැදිලි කිරීම සාර්ථක පැහැදිලි කිරීමක් බව එයින් කියැවෙන්නේ නැත.

ඔබට යම් දෙයක් පැහැදිලි කිරීමට නොහැකිවීම හෝ ඔබ යම් දෙයක් නොදන්නා බව, ඔබේ ප්‍රියතම මිත්‍යා දෘෂ්ඨිය සත්‍යය බවට ඔප්පු කරන සාක්ශියක් නොවේ. එයින් ඔප්පු වන්නේ ඔබේ නොදන්නා කම පමණයි.

අධිස්වාභාවික පැහැදිලි කිරීම් වලට ඒවා සත්‍යය යැයි ඔප්පු කිරීමට පලා යා නොහැකි වගකීමක් ඇත. එසේ නොකල හොත් ඒ පැහැදිලි කිරීම් වලට වැදගත්කමක් දීමට අවශ්‍යතාවයක් ඇත්තේ නැත.

මෙහිදී ආගමික විශ්වාස ගැන විශේෂ සඳහනක් කල යුතුය. ආගම් මඟින් ඉදිරිපත් කෙරෙන අධිස්වාභාවික ප්‍රකාශ වලට නොලැබිය යුතු ගරුත්වයක් හිමිවී තිබුනත් ඒ ප්‍රකාශ සහ පැහැදිලි කිරීම් ද සාක්ශි ඉදිරිපත් කිරීමෙන් සහ ඔප්පු කිරීමේ වගකීමෙන් නිදහස් වන්නේ නැත. ඒ ප්‍රකාශද ඔප්පු විය යුතුය, එසේ ඔප්පු වන තාක් ඒවාටද සැලකිය යුත්තේ සෑම සංස්කෘතියකටම, ශිෂ්ඨාචාරයකටම පොදු දහස් ගණන් මිත්‍යා කථා වලට සලකන ආකාරයෙන්මය. යම් සිදුවීමක් හෝ යම් දෙයක් පැහැදිලි කල නොහැකි නිසා කෙනෙක් ඒ නිසාම තම ආගමික ඉගැන්වීම් වලට සත්‍ය වීමේ සම්භාවිතාවයක් තිබෙන්නට පුලුවන් යැයි සිතනවා නම් ඔහු විසින් ඒ සම්භාවිතාවයම මෙතෙක් ඔප්පු නොවූ සෑම මිත්‍යා කථාවකටම දිය යුතුය. හේතුව, ඔහුට ඒ ආගමික විශ්වාසය ලැබීම පදනම් වනුයේ ඔහුගේ පවුල් පරිසරය, ඔහුගේ සංස්කෘතිය, ඔහු උපන් රට සහ ඔහු මිනිස් ඉතිහාසයේ ඉපදුන කාලය අනුව මිස වෙන යන් දෙයක් හේතුවෙන් නොවන නිසා.

කිසිවෙක් විසින් කවදා හෝ මිනිසුන් විසින් දැන් පිළිනොගන්නා අභාවයට ගිය ආගම් වල විශ්වාසයන් අසත්‍යය බවත්, දැන් පවතින ආගම් වලින් කියැවන ප්‍රකාශයන් සත්‍යය විය හැකි බවත් වීම නිසා පැරණි ආගම් අභාවයට ගොස් මේ ආගම් ඉතිරි වූවා නොවේ. එනිසා සෑම ආගමික විශ්වාසයකට, සෑම මිත්‍යා කතාවකටම සැලකිය යුත්තේ එකම ආකාරයකටයි.

මෙවන් මිත්‍යා විශ්වාස ඉතිහාසය පුරා මිනිසා විසින් වැලඳගෙන තිබුනත් තොරතුරු තාක්ශනයේ යුගයට පැමිණීමත් සමඟ ලෝකය සහ යථාර්තය ගැන මිනිසාගේ අවබෝධය වැඩි වීමත් සමඟම මේ මිත්‍යා විශ්වාස තමාට නුහුරු, තමාට අහිතකර, තමාගේ පැවැතමට තර්ජනයක් වන පරිසරයකට පැමිණ ඇත. මිත්‍යා විශ්වාස වල මරණ සහතිකයේ ලියැවෙන දිනය වැඩි ඈතක නැත. සියලු මිත්‍යා විශ්වාස, අධිස්වාභාවික පැහැදිලි කිරීම් (supernatural claims) අභියෝගයට ලක් වීමට හා ප්‍රශ්න කිරීමට ලක් වීමට ආරම්භවී ඇත.

ඉතිහාසයේ මෙවන් දේවල් දේව අපහාස, අපායවල් ගැන තර්ජන වැනි සරල උපක්‍රම මඟින්  අධෛර්‍යට පත් කලත්මේ යුගයේ එවන් සරල උපායවන් වලට බුද්ධිමත් මනසවල් හසුවන්නේ නැත.

ඔබ විසින් යම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන විට ඔබ ඒ ප්‍රකාශය සමඟ ඔබේ අහංකාරකම (Ego), අනන්‍යතාවය සහ බලාපොරොත්තු යන සියල්ලම ඉදිරිපත් කිරීමෙන් ඔබේ ප්‍රකාශය අභියෝගයට ලක්වන විට, පහර කෑමට, ප්‍රතික්ශේප කිරීමට, විවේචනය කිරීම් වලට ලක් වන විට ඔබ විසින් එය ‘ඔබ’ එල්ල කොට කරනා විවේචනයක්, පහර දීමක්, අභියෝගයක් යැයි වරදවා වටහා ගැනීමට පුලුවන.

නමුත් ඇත්තේ සරල දෙයක් පමණයි.

‘ඔබ විසින් අධිස්වාභාවික ප්‍රකාශයක් (supernatural) කරන මොහොතේම, ඔබ විසින් එය ඔප්පු කිරීමේ වගකීමද භාර ගනු ලබයි’

මා සටහන ආරම්භයේදී සඳහන් කල තාත්තාගේ D.N.A ප්‍රශ්නයට මා වෙනත් තැනක දුන් පිළිතුරක් උපුටා දක්වමින් මේ සටහන අවසන් කරන්නම්.

“තාත්තගේ D.N.A කතාව ගැන මගේ පුද්ගලික අදහස මෙයයි. මම නම් එහෙම පරීක්ශනයක් කරලත් නෑ. කරන්න කිසිම හේතුවකුත් නෑ. මගේ සහ මගේ පියාගේ බැඳීම ජාන වලින් ඇති බැඳීමට වඩා එහා ගිය එකක්. මම හෙට දැන ගත්තත් මාව ඉස්පිරිතාලෙදි මාරු වෙලා කියල, ඇත්ත පියා මගේ පියා නොවේ කියල එයින් මගේ ජීවිතයට කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඔබ වැනි අය එය වැනි දෙයක් දැන ගත්විට ඔහුට අම්මාගේ මිනිහා කියා අමතන්න ගනියිද දන්නේ නෑ. නමුත් එසේ වුවත් මගේ පියා දෙස මම බලන්නේ දකින්නේ මම දැන් ඔහු දෙස බලන විදිහෙන්මයි.

මෙවැනි දේවල් ගැන සහ අසාමාන්‍ය දේවල් ගැන හෝ, ඉතිහාසයට සම්බන්ධ දේවල් ගැන හෝ ඇත්ත නැත්ත වෙන් කරගන්නා ආකාරය තේරුම් ගැනීමට බැරි අය ඉන්නවා කියල හිතන්න අමාරුයි. ඇත්තටම මේකට ඇති හොඳම පිලිතුර නම් තමාගේ ඔල මොට්ටල මත නිසා අන් අයට පෙනෙන් තම නිරුවත වසා ගැනිමට ගන්නා අහිංසක උත්සාහයක් බවයි.

මගෙන් මේ ලගදිත් කෙනෙක් ඔය වගේ ප්‍රශ්නයක් ඇහැව්වා. කිසිම දෙයක් කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති ඔයා බස් එකට නගින්නේ එහි රියැදුරු ගැන පරම විශ්වාසයෙන් නොවේද? කියන ප්‍රශ්නය.

මම පොඩි උදාහරණයක් කියල මේ කතාව අවසන් කරන්නම්.

පාසැල් යන සිසුවෙක් ඔහුට පාසැල් යාමට නොහැකි වූ දිනෙක කලින් දවසේ සිදු වූ දේ ගැන ඔහුගේ සහයින්ගෙන් විමසද්දි ඔවුන් විසින්

‘වෙනදා වගේම ගුරුවරයා විසින් පන්තියට පැමිණ උගන්වලා ගියා’

හෝ, ‘අදාල පාඩම කලා’

යැයි කීවිට ඔහු එය භාර ගන්නා විදිහ සහ, තම සගයින් විසින්

‘ගුරුතුමා නිරුවතින් පැමිණ පාඩම කලා, පන්තිය ඉදිරියේ නිරුවතින් නර්ථනයක් ඉදිරිපත් කලා’

යැයි පැවසුවොත් ඒ එය භාර ගන්නා විදිහ ගැන සිතා බලන්න.

මම නම් පලවෙනි පිලිතුර ගැන සාක්ශි ඉල්ලන්නවත්, අනෙක් අයගෙන් විමසන්නවත් යන්නේ නෑ බොහෝ විට. මොකද ගුරුතුමා පාසැලට ඇවිත් පාඩම කිරීම සාමාන්‍ය දෙයක් නිසා.

නමුත් දෙවනි පිලිතුර පිලිගැනීමේ දී නම් අනුගමනය කරන්නේ ඒ පිලිවෙල නෙමේ.

හේතුවක් නැතිව, සාක්ශි නැතුව දෙවනි පිලිතුර පිලිගන්නා අය පන්තියේ බයිට් එක වන අතර කිසිම පදනමකින් තොරව හැම දේම පිලිගන්නා පිස්සන් බව පැහැදිලිවේ.

දෙවෙනි පිලිතුර පිලිගත්ත එකාට මම හිනා වෙද්දි ඔහු මට කිව්වොත්

‘ඇයි එහෙනම් ඔයා පලවෙනි පිලිතුර පිලිගද්දි සාක්ශි ඉල්ලුවේ නැත්තේ’

කියල, මම මේ අදහසේ මුල් කොටස තමා ඔහුට කියන්නේ.

දැන් අර ගුරුතුමා ඇඳුම් නැතුව ආපු කතාව එකපාරම, ප්‍රශ්න නොකර පිලිගන්න සෙට් එක මේක කියෝල කිව්ව දේ පුලුවන්නම් තේරුම් ගන්න උත්සාහ කරත්වා !

Advertisements

3 responses to “බහුබූත විශ්වාස සහ තාත්තාගේ ඩී.එන්.ඒ ප්‍රශ්නය

  1. මේ ඔප්පු කිරීමට නොහැකි අද්භූත විශ්වාසයන්…කුඩා දරුවන්ගේ මනසට ඇතුල්කරන්නත් පටන් අරන්. දෙරණ නාලිකාවේ සිඳු නාට්ටිය හරහා දරුවන්ගේ මනසට වටහාගන්නට ඉඩහරින වටිනා පාඩම් සමග විනාශකාරි මිත්‍යාවක් නොදැනුවත්වම ඇතුල්කරනවා. හරිම කනගාටුදායක තත්වයක්. ඒ කොතරම් දුර දිග යවනවාද කියනවානම්…ඒ සිඳු චරිතය රඟපාන දරුවාගෙන් (ඔහු විද්‍යඥයෙක් වීමට කැමතිබව කියනවා) කරදඬු උස් මහත් නිවේදිකාවෝ අහනවා…ඔබේ අද්භූත බලයෙන් ඔබ මොනවද කරන්න කැමති කියා. ඒ සුරතල් දරුවා කියනවා “මම සුනාමියක් එවනවා” කියලා. (මේ නාට්ටියේ කොටසක් නොවේ. සජීවි වැඩසටහනක කොටසක් )….මටනම් හිතාගන්න බැහැ වැඩිහිටියන්ට මොනවා වෙලාද කියලා.

    Liked by 1 person

  2. සංජය මම ලිපි පෙළක් ලියගෙන් යනවා, මට ලැබුණු අත්දැකීම් කිහියක් ගැන. අවුරුදු අටක විතර දිග කාලයක් තිස්සේ. කැමති නම් ඇවිත් අදහසක් දාල යන්න. නැත්නම් ලිපි පෙළ ඉවර වුනහම එන්න. තව 3 ක් දාන්න තියනවා.
    http://kolambagamaya.blogspot.com/2016/09/materialist-paranormal_29.html

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s