අඳුරෙන් එළියට…

“ආච්චි දඹදිව යන්නද යන්නේ?”

“ඔව් පුතේ..ඔච්චරනේ අන්තිමට ඉතුරු වෙන්නේ”

“ඔව් නේද ආච්චි..යන්න යන්න.. ගිහින් එන්න එහෙනම්”

ආච්චි; බෞද්ධාගමට දැඩි භක්තියක් තිබෙන ඇය කකුල් අමාරුවක් තිබුනත් තම දරුවෙක්ට හෝ කියා ත්‍රීවීල් එකක් හයර් කරගෙන පන්සල් ගොස් සිල් ගැනීම වරද්දන්නේ නැත. ජීවිතයේ අවසන් සමය ගෙවන ඇය දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඇය සතුව ඇති පරණ වූ බෞද්ධ පොත් ගොඩේ ඇති පොතක් කියවමිනි. ඇය විසින් කියවන පොත් දුටු විට සිතෙන්නේ මේ පොත් ඇය විසින්ම කීවාරයක් නම් කියවා ඇත්ද කියාය.

ආච්චි.. ජීවිතය ජයගත් කාන්තාවක් යැයි මට සිතෙයි. ඇයගේ දරුවන් සියල්ලම ඇය ජීවත් වූවාට වඩා පැහැදිලිවම ඉහල සමාජ මට්ටමක ජීවත් වෙයි. දෑතේ සවියෙන් දහඩිය මහන්සියෙන් සිය පවුල සීයා විසින් ගොඩ දමා ඇත. සමාජයේ මිමි වලට අනුව ඔවුන් සියල්ල අතිසාර්ථකය. ඔවුන්ට අවශ්‍ය වන්නේද එපමණය. ඔවුන්ද අන් සියල්ලන් සේම සාර්ථකත්වය පසුපස හඹායන නොනවතින තරඟයේ යෙදී සිටියි.

සිය දරුවෙක්ට රෝගයක් වැළඳුන පසු එය සුව කිරීමට වෛද්‍ය සහය ගැනීම ප්‍රතික්ෂේප කොට තොවිල් ක්‍රම මඟින් විසඳුම් සෙවීමට ගොස් අවසානයේ ඉතාම දරුණු තත්වයට පත් වූ පසු වෛද්‍ය උපදෙස් මඟින් යන්තම් ගොඩදාගත් කතාව තවමත් මගේ මව මතක් කරයි. තවත් දරුවෙක්ගේ ප්‍රේම සම්බන්ධයක් නැවතීමේ උත්සාහයක් ලෙස කොහේදෝ හාමුදුරු කෙනෙක්ගේ සහය දිගින් දිගිටම පැතූ බව පවුල තුල සියල්ලන් දන්නා කරුණකි.

කොපමණ සමාජීය සහ ආර්ථික අතින් දියුණු තත්වයට පත් වුවද එම ගති ලක්ෂණ ආච්චි විසින් තම දරුවන්ටද උරුම කොට දී ඇත. ආගමට දහමට දැඩි ලෙස සියල්ලන්ම ලැදිය. කතරගම වන්දනාගමන වාර්ශිකව සිදු කරන අනිවාර්‍ය වූ අංගයකි. සියලුම විශේෂ අවස්ථාවලදී වෙලාවල් බැලීම්, නම් තැබීම් වලදී අකුරු තේරීම් තිතටම සිදු කරයි, බුදුදහමට සේම හින්දු දේව වන්දනාවද තදින්ම සිදු කරයි. එකී, මෙකී නොකී අප සංස්කෘතියේ ඇති සියලුම ඇදහිලි සහ විශ්වාස අනුගමනය කරයි. ඒවාට දැඩි සේ ඇලුම් කරයි.

මම ආගම අතහැරිය බව ඇසූ විට තාත්තාගේ සහෝදරියක් පැවසුවේ

“ආගමක් නැතුව කොහොමද ජීවත් වෙන්නේ? මනුස්සයෙක් වුනාම මොකක් හරි ආගමක් තියෙන්න ඕනේ. නැත්නම් අපි සත්තු වගේ වෙනවා. බුද්ධාගම වෙන්නම ඕනෙ නෑ. මොකක් හරි… මොකක් හරි ආගමක් තියෙන්න ඕනේ..”

ආච්චිගේ දරුවන් සියල්ලම ගමේ පන්සලේ ප්‍රධානම දායකයින්ය. පන්සලේ තීරණ වලට බලපෑම් කල හැකි මට්ටමේ සිටන නිසා දිනක් මම අඩු කුලේ පුද්ගලයින් පන්සලේ මහණ නොකිරීම ගැන ප්‍රශ්න කලෙමි.

“ඇයි දැන් පන්සලේ අඩු කුලේ අයව මහණ කරන්නේ නැත්තේ? බුදුහාමුදුරුවෝ සෝපාකව මහණ කලා නේද?”

“ඒවා දැන් කාලෙට හරියන්නේ නෑ. ඒවා ඒකාලේ. අපේ පන්සලේ කවදාවත් ඕවා වෙන්න දෙන්නේ නෑ”

“ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම නෙමේනෙ”

“උඹට ඕනේ නම් ගිහින් ඕනේ හකුරෙක්ව මහණ කරගනින් එහෙනම්”

එයයි මට ලැබුන පිළිතුර.

මේ සියල්ල මැද වෙනස්ම චරිතය වූයේ මගේ පියාය. කිසිම වැඩකට වෙලාවක් කලාවක් නොබැලූ ඔහු සැමවිටම කිව්ව කතාව නම් “වැඩේ කරන්න හිතෙන වෙලාව තමා නියම වෙලාව” යනුවෙනි. අව්ව වැස්ස නොබලා වැඩ කල යුතු බව ඔහු තදින්ම විශ්වාස කලේය.

“පුතේ, මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නෑ. හැමකෙනාගෙම හිත දිනාගන්නයි ඕනේ. මිනිස්සු එක්ක වාද කරලා, රණ්ඩු වෙලා කවදාවත් ජීවත් වෙන්න බෑ. කිසිම කෙනෙක් එක්ක තරහ වෙන්න එපා. ඔයාට වැරැද්දක් කලත්, ඔයා ගිහින් වැරැද්ද කල කෙනා එක්ක කතා කරලා යාලු වෙන්න. තරහ වුනොත් ඔයාට කිසිම හොඳක් වෙන්නේ නෑ, හානිකයක් මිසක්.”

ඔහුගේ උපදේශ ඒවාගේය. ඔහු සැබවින් සිතන දේ කිසිදා කිසිවෙක්ට දැනගත නොහැක. ඔහු කියන්නේ අදාල වෙලාවට අනුව කිව යුතු දෙයයි.

වැරදීමකින් හෝ එක්වරක් දෙවරක් ඔහුගේ හිතේ අවංක හැඟීම් යැයි සිතිය හැකි දේවල් එළියට ආව වාරයන් කිහිපයක් මතකය. දිනක් බණ දේශනාවක් අසා නිවසට පැමිණෙන අතර තුර බුදුන්ගේ මරණ මංචකය ගැන කියන විට බණ දේශනා කල හාමුදුරුවන් අතිශය සංවේදී වූ අයුරු ගැන මම තව තවත් සඳහන් කරන විට එකවරම තාත්තා පැවසුවේ

“ඒක ඉතින් ඒ මනුස්සයාගේ ජොබ් එකනෙ”

යනුවෙනි. ඉන්පසු එතනින් එහාට වචනයක් කිව්වේ නැත.

සෑම විටම කිව්ව දෙය නම් හම්බකරන සල්ලි නැති මිනිස්සුන්ට දෙන්න. දෙන්න දෙන්න තමයි ලැබෙන්නේ කියන කතාවයි. ඔහු ඉපැයූ මුදල් වලින් වැඩි හරියක් සමාජ සේවයට යෙදෙව්වේ පින්තකාද, නැතහොත් මහජන ප්‍රසාදය ලබා ගැනීමට දැයි මට කිසිදා දැනගැනීමට ලැබෙන්නේ නැත.

අසම්මතයා බිහි වීමට මුල් වූයේ මගේ පියා දැයි වෙලාවකට සිතේ. කතෝලිකයෙක් වූ මගේ මව කුඩාකාලයේ සිටම මාව කතෝලික ආගමට දැඩිලෙස නැඹුරු කල බව ඔහු මුල සිටම දන්නා බව අප තිදෙනා තුලම වූ ප්‍රසිද්ධ රහසකි. නමුත් කිසිදා ඔහුට එය ප්‍රශ්නයක් වූයේ නැත. ඔහු මට කිව්ව එකම දෙය නම්

“පුතේ ආගම් දෙකම ඉගෙන ගන්න, ඊට පස්සේ ඔයාට හරියි කියලා හිතෙන එක තෝරගන්න” කියාය

අසම්මතයා බිහිවීමට මූල බීජය වූ සිතිවිල්ල මට තවමත් මතකය. ඒ මා ඉතා කුඩා අවධියේ මගේ දෙමාපියන්ගෙන් ඇසූ ප්‍රශ්නයකි.

“අම්මේ, අපිට මැරුනයින් පස්සේ මොකද වෙන්නේ?”

“මැරුනයින් පස්සේ පුතේ අපි ජේසු ගාවට යනවා”

“තාත්තේ අපි මැරුනයින් පස්සේ මොකද වෙන්නේ?”

“මැරුනයින් පස්සේ වෙනත් තැනක ගිහින් ඉපදෙනවා. හොඳින් හිටියොත් හොඳ තැනක ඉපදෙන්න පුලුවන්”

ඔය කතා දෙකෙන් දෙකම නිවැරදි විය නොහැකි බවත් එකක් පමණක් සිදුවිය හැකි බවත් මගේ පුංචි මනසට පවා වටහා ගැනීමට අපහසු නොවීය. එදා සිටම ඔය ප්‍රශ්නයට උත්තරය සෙවීමට ගත් උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස අද මම මේ සිටින තැනට පැමිණ ඇතැයි මට සිතේ.

අවසානයේ මම ආගම් දෙකම අතහැරීම මගේ මවට මහා ප්‍රශ්නයක් වී පියාට කතාකිරීමට තරම් වත් වැදගත් මාතෘකාවක් නොවීමට හේතුවක් වූයේ ඇයි දැයි නොදනිමි.

දෙවියන් පිළිනොගන්නා මම දකිනා යම් දෙවියෙක් වේ නම් ඒ මගේ පියාය, මෙහි කතාකරන මාතෘකාව සම්බන්ධයෙන් මගේ ජීවිතයට වැඩියෙන්ම බලපෑමක් කල ප්‍රකාශය සඳහන් කරමින් මගේ අත්දැකීම් ගැන ලියූ පළමු සටහන අවසන් කරන්නම්.

“අම්මේ මැරුනයින් පස්සේ දෙකක් වෙන්න බෑනෙ. දෙකෙන් එකයිනෙ වෙන්න පුලුවන්”

“මැරුනයින් පස්සේ යන්නේ ජේසු ගාවට පුතේ”

“ඉතින් තාත්තා කියන්නේ ඒක නෙමේනෙ. වෙන එකක්නෙ”

“ඔය තාත්තාගේ බොරු. එයා කියන දේ එයාවත් පිළිගන්නේ නෑ”

“ඒ කිව්වේ අම්මේ?”

“මම තාත්තගෙන් ඕක ඇහැව්වා දවසක්. එයා කියනවා ඔය ඔක්කොම බොරුලු. මැරුනයින් පස්සේ ඔය මුකුත් වෙන්නේ නෑලු”

“එහෙනම්???”

“මැරුනයින් පස්සේ මුකුත් නෑලු. ස්වර්ගයක්වත්, ආයේ කවුරුත් ඉපදීමක්වත් වෙන මොකක්වත් නෑලු. එතනින් ඔක්කොම ඉවරයිලු. ”

“ඒකයි තාත්තා කිව්වේ. ඒකනේ මම කිව්වේ, මැරුනයින් පස්සේ යන්නේ ජේසු ගාවට පුතේ”

අම්මාගේ ස්වර්ගයේ කතාවටත්, තාත්තාගේ නැවත ඉපදීමේ කතාවටත් වඩා තාත්තා මට කිසිදා නොකියූ ඒ කතාව ඒ පුංචි වයසේදී පවා අනෙක් කතා දෙකටම වඩා තේරුමක් ‘ඇති’ පිළිතුරක් ලෙස මට දැනුනේ මන්දැයි අදවනතුරා නොදනිමි.

Advertisements

4 responses to “අඳුරෙන් එළියට…

  1. නිර් ආගමිකයකු වෙන්න පවුගේ ආගමික පසුබිමේ ගැටුම් හේතු වෙනවා වගේ නේද? මැතක් වන තුරු මගේ පියා ආගම් විවේචනය කල කොමියුනිස්ට් කාරයෙක්, දැන්නම් පන්සල් යනවා. පියා හැමදාම පන්සල් ගිය අයකු වූවා නම් මා නිර් ආගමිකයකු නොවන්න තිබ්බා, එත් දැන් පන්සල් යන තාත්තා ඉස්සරට වඩා පැසුනු බුද්ධිමතෙක්.

    Liked by 1 person

    • එක එක්කෙනාට විවිධ හේතූන් බලපානවා ඇති. මට නම් පවුල් පසුබිම තදින්ම බලපෑවා. ආගම් දෙකම ඉගෙනගෙන හරි එක තෝරගන්න කියල තාත්තා කියපු එක ලොකු උදව්වක් වුනා, මට හිතෙන විදියට. කොහොම වුනත් ඉපදුන දවසෙ ඉඳල නිරාගමිකයෙකු වුනාට වඩා ආගම් ගැන ඉගෙනගෙන ‘පළමු පරම්පරාවේ’ නිරාගමිකයෙක් වෙන්න ලැබුන එක ගැන සතුටුයි

      Like

    • එකඟයි. ඒත් ආගම් නිසා මිනිස්සු කරන හොඳ, ආගම් නැතුවත් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ දැඩි ආගමික විශ්වාස හේතුවෙන් ලොව පුරා සිද්ධ වෙන අයහපත් දේ සිදුවෙන්නේ ආගම් නිසාම පමණයි. අද හෙටම නොවුනත් ආගම් මියයාම සිදුවිය යුත්තක්.

      Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s