පෝය දින අරක්කු විකිණීමේ නිදහස තහවුරු කරනු !

ඕනෑම කෙනෙක්ට තමාට කැමති ආගමක් ඇදහීමේ නිදහස තිබිය යුතුය. ඒ ආගම ඇදහීමේ නිදහස තවත් කෙනෙක්ගේ ආගම ඇදහීමේ හෝ නොඇදහීමේ නිදහසට බාධාවක් නොවිය යුතුය.

තමාගේ ආගම හෝ සදාචාරය පුද්ගලික දෙයක් විය යුතුය. අන් අය මත තමාගේ ආගමික විශ්වාස හෝ පුද්ගලික හර පද්ධතීන් බලෙන් පැටවීමටයාම තලෙයිබාන් (දැන් නම් අයිසිස්) හැසිරීමකි.

ඒ සරල කරුණ යමෙක්ට ඔහුගේ/ඇයගේ බුද්ධි මට්ටමේ උපරිමයටත් හසුනොවෙන තරමට සංකීර්ණ ලෙස හැඟේනම්, ඉහත කරුණ සඳහා ඔබට උපතින් ඔබේ දෙමාපියන්ගෙන් හිමි වූ ආගම හැර වෙනත් ආගමක් ආදේශ කරගෙන නැවත සිතා බලන්න උත්සාහ කරන්න. එවිට එසේ නොකල යුත්තේ ඇයි කියන එක තේරුම් ගැනීමට තවත් පහසු වනු ඇත.

ආගම යන දේ පොදු හරපද්ධතීන් සම්මත කරගැනීමෙන් සහ රාජ්‍ය කටයුතු වලින් වෙන් විය යුතුය. (ඒ ආගම ඉස්ලාම් වුවත්, කතෝලික වුවත්, බෞද්ධ වුවත්)

ආගම යනු ඓතිහාසික ලියවිලි මත පදනම් වූ ඓතිහාසික ඉගැන්වීම්ය.

ඒ ලියවිලි එක් එක් පුද්ගලයන් අර්ථ නිරූපනය කරන්නේ එක් එක් ආකාරයටය. ඔවුන් ඒවා ප්‍රායෝගික ජීවිතයේදී භාවිත කරන්නේ එක් එක් ආකාරයටය.

බුදු දහමේ එන පන්සිල් පද පහෙන් එකකට අනුව බොරු කීමෙන් වැළකීම යහපත් දෙයකි. තවත් එකකට අනුව සුරා පානයෙන් තොර වීමද යහපත් දෙයකි.

කරුණු මෙසේ තිබියදී අප රටේ මත්පැන් විකිණීම තහනම් කෙරුණු විශේෂ දින ඇත. ඒ නීතිය කඩ කිරීම රටේ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක්ය.

එය එසේ වුවද සුරා පානය කරන බෞද්ධයෝද ඇත. සුරා පානය කල ද ඔවුන්ද බෞද්ධයෝය. බෞද්ධාගමිකයන් වන ඔවුන්ට බෞද්ධාගම ගැන ඇත්තේ වෙනම අර්ථ නිරූපනයකි. ඔවුන්ගේ ජීවිත වල බෞද්ධාගමේ භාවිතය නිර්ණය වන්නේ ඒ අර්ථ නිරූපනයට අනුවය.

ඔවුනට මෙන්ම බෞද්ධ නොවන ඈයන්ටද තම තමන්ගේ නිදහස අන් අයට බාධා නොවන සේ භුක්ති විඳීමට අයිතියක් ඇත. ඒ අයිතිය නැති කිරීමට වෙන අයට අයිතියක් නැත.

මේ විකාර නීතියේ විසුළු බව තේරුම් ගන්නට මම පෙර සඳහන් කල අනෙක් පන්සිල් පදය ආදේශ කිරීමෙන් හැකිය.

බොරු කීමද වැළකිය යුතු ක්‍රියාවකි (සුරා පානය වගේම). ඉතින් ආණ්ඩුවෙන් බොරු කීමට එරෙහිව නීති සම්පාදනය කොට, එක් දිනක් බොරු කීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය යැයි කියා එය නීති ගත කොට, නීතිය කඩන බෞද්ධයන්ට සහ බෞද්ධ නොවන අයට දඬුවම් නියම කලහොත් එය විසුළු සහගත ක්‍රියාවක් නොවෙද? දෙකම පන්සිල් නොවැ. දෙකම බෞද්ධ ඉගැන්වීම් නොවැ,

යම් ආගමිකයෙක්ට ඔහුට අනුව ඔහුගේ ආගම අර්ථ නිරූපනය කොට, අන් අයගේ ආගම් ඇදහීමේ හෝ නොඇදහීමේ නිදහසට බාධා නොවන අයුරින් එය තමාගේ ප්‍රයෝගික ජීවිතයට භාවිතා කර ගැන්මට හෝ කර නොගැන්මට නිදහස තිබිය යුතුය.

ආණ්ඩුවේ සිටිනා යම් යම් පුද්ගලයන්ගේ ‘ආගමික’ අර්ථනිරූපනයන්ට අනුව රටේ ‘ආගමික’නීති සම්පාදනය කොට මුළු රටකම ජනතාවගේ අයිතීන් උල්ලංඝනය නොවිය යුතුය.

දැන් ගොඩක් අය කියන්නේ මෙහෙම එකක්ය.

ඉස්ලාම් ආගම පිළිගන්න අය විසින් ඔවුන්ගේ ආගමික විශ්වාස ඉස්ලාම් නොවන අය මත බලෙන් පටවන එක නරකයි. නෝටියි. කැතයි. ඒත්, බෞද්ධ ආගම පිළිගන්න අය විසින් ඔවුන්ගේ ආගමික විශ්වාස බෞද්ධ නොවන අය මත බලෙන් පටවන එක හොඳයි, නියමයි, නිවැරදියි !

තමාගේ ගෝත්‍රයේ විශ්වාස අනෙක් ගෝත්‍ර මත බලෙන් පැටවීමෙන් සහ අන් ගෝත්‍ර වල මිනිසුන් තාඩන පීඩනයට ලක් කොට තම ගෝත්‍රයේ පැවැත්ම තහවුරු කරගත හැකි යයි යමෙක් සිතන්නේද.. ඒ මඟින් යහපත් සමාජයක් ගොඬනැගිය හැකි යයි යමෙක් සිතන්නේද..

ඒ පුද්ගලයා යනු , ඔහු විසඳුම සොයන ප්‍රශ්නයේම කොටසක් මිසක විසඳුමේ කොටසක් නොවේ.

5 responses to “පෝය දින අරක්කු විකිණීමේ නිදහස තහවුරු කරනු !

  1. ඔබ යමක් වැරදියට ගෙන ඇත. බෞද්ධ කමට අනුව මත්පැන් පානය අධෛර්‍යමත් කරන බව සැබෑවකි. ඇත්තටම පොහොය දිනයට මත් පැන් මෙන්ම මස් විකිනීම බුදුන්ට පෙර සිටම පැවති සම්ප්‍රධායකි. එය සංකෘතික උරුමයක් සේ පමණක් සලකන්න. බෞද්ධයන් වැඩි පිරිසක් හරක් මස් පමණක් අනුභව කිරීමෙන් වැලකී සිටීමේ අමුතු ලොජික් එක එන්නේ ද මෙතනින්. කෘෂිකාර්මික රටක් වුන අපට ගවයාගේ මස් කෑම වදාපු අම්මාගේ මස් කෑම හා සමාන හැඟිමක් සංකෘතිය විසින් ඇති කර ඇත. වැරැද්ද ඇත්තේ ඔය බෞද්ධ ආභාෂය නිසා ආවායැයි උඩින් බලන කෙනෙක්ට පෙනී යාමයි. ඊටත් වඩා අරුමය බෞද්ධයන් විසින්ද එය බෞද්ධ කම නිසා කරන දෙයක් යැයි හැඟිමකින් ජීවත් වීමයි.

    Like

    • ඔබ කියන කාරණාව ඇත්ත. එනමුත් යම් සංස්කෘතික සිරිත් විරිත් වලට අදාලව නීති සම්පාදනය කිරීම නොකල යුත්තක්. එක හේතුවක් තමා ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියට පමණක් නොව, විවිධ සංස්කෘතීන්ට අයත් සිරිත් විරිත් ඇති මිනිසුන් සිටින නිසා. අනෙක, සිය රටේ වැසියන් ජීවත් වන්නේ කුමන සංස්කෘතියකට අදාලවද නැද්ද යන්න තීරණය කිරීම රටවැසියන්ගේ කාර්යක් මිසක ආණ්ඩුවේ කාර්‍යක් නෙමේ. උදාහරණයක් ගතහොත් කෙනෙක් ජීවත් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුවද, මුස්ලිම් සංස්කෘතියට අනුවද, එසේත් නැති නම් එස්කිමෝ සංස්කෘතියට අනුවද යන්න අදාල පුද්ගලයාගේ කටයුත්තක් මිසක ආණ්ඩුව විසින් තෝරාගන්නා ලද යම් සංස්කෘතියක් ඔහු මත බලෙන් පැටවීමට යාම සමාන වන්නේ තලෙයිබාන්(දැන් නම් අයිසිස්) හැසිරීමකටය.

      Like

    • අරක්කු කලින් අරගෙන තියාගන්න පුළුවන්. ඒත් ඇයි එහෙම කරන්න ඕන? වැඩිහිටියෙක්ට තමා අරක්කු ගන්නේ කවද්ද කියන එක තීරණය කරන්න රජයේ බලපෑම ඕනද? අරක්කු විකිණීම හෝ වෙනයම් දෙයක් තහනම් කරන එක හරි, සීමා කරන එක හරි වරදක් නැහැ. නමුත් සාධාරණ හේතු මත පදනම් වෙලා. මෙතන තියෙන්නේ සාධාරණ හේතුවක් නෙමේ. කාගේ හරි මහදැනමුත්තගේ බර්ත් ඩේ එක කියල මම කඩෙන් අරක්කු ගන්න එකට බලපෑම් කරනව නම් එතන තියෙන්නේ හිනා නොයන විහිලුවක්. එයාගේ ලොක්කාගේ බර්ත්ඩේ පාර්ටි එක දැමීම හෝ නොදැමීම එයාගේ පුද්ගලික මට්ටමින් කරගන්න ඕන දෙයක් මිසක, මිනිස්සු පාටි දැමීම හෝ නොදැමීම බලෙන් කරවන්නට යාම තලෙයිබාන් (දැන් නම් අයිසිස්) ක්‍රියාවක්. අසාධාරණ හේතු මත පදනම් වෙලා අරක්කු විකිණීම යම් දවසක සීමා කිරීම ගැනයි මම විරුද්ධ.

      Like

  2. නිර් ආගමික වීම තවත් එක් අන්තවාදයක්ම බව මේ පෝස්ට් එකෙන් හොඳටම පැහැදිලි වෙනව. පෝයට විතරක් නෙමෙයි හැම දාකටම වුණත් මත් පැන් තහනම් කරනවනම් ඒකෙ කිසිම වරදක් නෑ. මත් පැන් කියන්නෙ තමන්ගෙ ශරීර සෞඛ්‍යයට විතරක් නෙමෙයි අනුන්ගෙ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයටත් ඉතාම අහිතකර දෙයක්. ඒ වගේම තමයි පෝයට මත් පැන් තහනම් කරන එකට නිර් ආගමික සහ ආගම් අදහන අය අකමැතිනම් ඔවුන්ට තවත් යෝජනාවක් කරන්ඩ පුළුවන් අපිට පෝයට නිවාඩුත් එපා කියල. මොකද ආගමික කෝණයෙන් බැලුවොත් පෝය නිවාඩුවක් දෙන්නෙ පන්සලට යන්ඩනෙ. මොනවද මේ විහිළු කතා… අය්යෝ…

    Like

ප්‍රතිචාරයක් ලබා දීමට