සිරිසේනට මඩුවලිගෙන් තැලීම

“මඩුවලිගයෙන් තලනවා, මඩු වලිගයෙන් තලන්න ඕනෙ” වැනි උපහරණ භාවිතා වන්නේ සාමාන්‍යය ගැමි වහරේය. උපහරණ වලින් ප්‍රකාශ කෙරෙන්නේ යම් අදහසක් මිසක ඒවා වචනාර්ථයෙන් භාරගැනීම සිදුවන්නේ නැත.

පසුගිය දිනක පැවතුනු විදෙස් ගායකයෙක් සහභාගී වුන සංගීත ප්‍රසංගයක් සම්බන්ධව අප රටේ ජනාධිපතිවරයා මෙම උපහරණය භාවිත කොට සිදුකරන ලද ප්‍රකාශයක් දේශීය සමාජ ජාල වල දැඩි විවේචනයට මෙන්ම උපහාසයටද ලක් විය. ඔහුගේ එම ප්‍රකාශය දේශීය මෙන්ම පිළිගත් විදෙස් මාධ්‍යය හරහාද ලොව පුරා වාර්තාවිය.

කාන්තාවකගේ තන පටක් ආශ්‍රිතව සිදු කරනු ලැබූ ප්‍රකාශයක් හරහා ජනපතිවරයාට එල්ල වූ මේ දැඩි විරෝධතා රැල්ල, අදාල ප්‍රකාශය අරඹයාම හටගත්තක් ලෙස අර්ථ දැක්වීමට ලියන්නා සූදානම් නැත.

ජනපතිගේ මෙම ප්‍රකාශය හරහා පුපුරා ගියේ වසරකට ආසන්න කාලයක් තුළ ඔහුගේම ක්‍රියාකලාපයෙන් කලකිරීමට පත් ඔහුට සිය ඡන්දය ප්‍රකාශ කල ජනතාවගේ කෝපය මිස වෙන කිසිවක් නොවේ.

මැතිවරණයට පෙර ජනපති සිය ඡන්ද ව්‍යාපාරයේදී ලබා දුන් පොරොන්දු එකින් එක කඩවනු දකින ඔහුගේ ඡන්ද දායකයා ඔහු ගැන විශ්වාසය තබමින් හැකිතරම් නිහඬව සිටියේ ඔහු ගැන සියුම් හෝ බලාපොරොත්තුවක් තබාගෙනය.

ප්‍රතික්ෂේප කරනු ලැබූ පාලන ක්‍රමයේ අඳුරු ඡායාවන් මෙම පාලන ක්‍රමයෙන්ද දකින්නට පටන් ගෙන තිබූ ජනතාවට, සැනසීමට කිසිදු විකල්පයක් ඉතිරි නොකල ජනපතිතුමා ගැන තිබුනේ කලකිරීමකින් පිරිනු කේන්තියකි.

තත්වය මෙසේ තිබියදී, ඔහු විසින් “අපේ කම” මාර්කට් කිරීමට ගත් උත්සාහයක් ලෙස සිදු කල මෙම ප්‍රකාශය විසුළු සහගත ප්‍රකාශයක් ලෙසය ජනතාව දුටුවේ.

“මඩුවලිගයෙන් තලන්න ඕනෙ” කථාව ගැනද යමක් පැවසිය යුතුය.

එය දේශීය උපහැරණයක් බවද, උපහැරණ වචනාර්ථයෙන් භාරනොගතයුතු බවද සත්‍යකි. එහෙත් විදෙස් මාධ්‍යක මෙවන් උපහැරණයක් වාර්තාවීමේදී ඔවුන් මෙවන් ප්‍රකාශ කියවන්නේ කෙසේද යන්න රටක නායකයෙකු ලෙස අප රටේ ජනපති සිතිය යුතුය, සිතිය යුතුව තිබුනේය.

ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ විදෙස් මාධ්‍යය වල ඔහුගේ ප්‍රකාශය වාර්තාවී තිබුනේ මෙසේය.

“Iglesias show’s organisers ‘should be whipped’: Sri Lanka leader”

එයින් කියැවෙන්නේ ප්‍රසංගයේ සංවිධායකවරුන්ට ප්‍රසිද්ධියේ කසයෙන් තැලිය යුතු යැයි ශ්‍රී ලංකාවේ ජනපති කියයි, වැනි අදහසකි.

මෙවන් ප්‍රකාශයක් ලොව පුරා සිටින මිනිසුන් කියවන්නේ, ඔවුන්ට ඇසෙන්නේ, ඔවුන් භාරගන්නේ ඒ අයුරින්ය. මඩුවලිගයෙන් තැලීම අපට උපහරණයක් වුවද කසයෙන් තැලීම ඔවුනට උපහරණයක් නොවේ.

තමා අතිශය ප්‍රියකරන ගායකයෙකු සහභාගී වූ සංදර්ශනයක් සම්බන්ධයෙන් රටක නායකයෙකු එසේ පැවසූ බව කනවැකුනු විට ඔවුන් බලන්නේ, එම රටේ නායකයා මෙන්ම, එම රටද අශිෂ්ඨ වූ ගතිපැවතුම්, සිරිත් විරිත් ඇති, ප්‍රාථමික සදාචාරයකින් හෙබි වනචාරීන් පිරිසක් දෙස බලන අයුරින්ය.

බෲනායි රජු විසින් එරට නත්තල් සමරන මිනිසුන්ව සිරගත කල යුතුය, වැනි ප්‍රකාශයක් කනවැකුනු විට අපට ඇතිවන හැඟීමට සමාන හැඟීමක්ය අපේ ජනපතිතුමා මෙවන් ප්‍රකාශයක් කල බව කනවැකුනු විට ඔවුනට ඇතිවන්නේ.

ඔවුන්ගේ ශිෂ්ඨ බවේ සහ අපගේ අශිෂ්ඨ බවේ ඇත්ත නැත්ත වෙනම කතාවකි. එහෙත් මෙවන් දෙකයි පනහේ මාතෘකාවක් නිසා ලොවක් ඉදිරියේ රටක නායකයෙක් සිය රටම ලජ්ජාවට පත් කල යුතුද නැද්ද යන්න සරල පිළිතුරක් ඇති පැනයකි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් තේරුම් ගත යුතු කරුණු දෙකක් ඇත.

ඔහු තවදුරටත් ගමරාළ කෙනෙකුවත්, ග්‍රාමසේවක කෙනෙකුවත්, පොල් අතු හෙවිලි කල තේ කඩේක වාඩිවී තේ බොන සීයා කෙනෙකුවත් නොව, ඔහු රටක නායකයෙක්, ජනාධිපති කෙනෙක් බවය.

හැන්දෑ යාමයේ සිය වයස්ගත මිතුරු මිතුරියන් හමුවී හුවමාරුකරගන්නා අදහස් ප්‍රසිද්ධ වේදිකාවක ඒ අයුරින්ම ඒ වචන වලින්ම පැවසීම ගැටළුවක් නැත යයි ඔහු තවමත් සිතනවා නම්, ඔහු ඉන් පෙන්වන්නේ තමා ඉඳගෙන සිටිනා ජනපති පුටුවට ඔහුගේ ඇති නුසුදුසු කම මිස වෙන කුමක්වත් නොවේ.

දෙවන කරුණ නම්, ඔහුව රටේ ජනතාව පත් කලේ කාන්තාවන්ගේ යට ඇඳුම් සම්බන්ධවවත්, රටේ කෙල්ලන්ගේ සදාචාරය ඔහුට කියා හදා ගැනීමටවත් නොව ජනාධිපතිවරයෙකු ලෙස තමාගේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට බවය.

ඔහු විසින් ඉටුකල යුතු, කඩකරන ලද පොරොන්දු ගැන මෙහි සඳහන් නොකරන්නේ සටහන තවත් දීර්ඝ වීම වැළැක්වීම උදෙසාය. ඒතරම්ම ලැයිස්තුව දිග වැඩිය.

“අපේ කමේ” රංගනය ඕනෑවටත් වඩා හොඳින් රඟපෑ නළුවෙක් එලවා දමා ඔවුන් වත්මන් ජනපතිතුමාව පුටුවෙන් ඉන්දුවේ ඊට වඩා ප්‍රාථමික “අපේ කමේ” රංගනයක් ඔහුගෙන් දැකීමේ අපේක්ෂාවෙන් නොවේ.

හතර අතින් අනාගෙන ඇති ජනපතිතුමා ගිලෙන්නට යන මිනිහා පිදුරුගහෙත් එල්ලෙන්නට තනනවා සේ ‘අපේ කමේ’ එල්ලෙන්න තනන සැටි අනුකම්පා දනවන සුළුය.

මේ ඔහුට ගැසීමට ඉතිරිව ඇති අවසාන තුරුම්පුව නම්, ඔහුගේ ධූර කාලය සම්පූර්ණ කිරීමටවත් ඔහුට හැකියාව ලැබේද යන්න පිළිබඳ සැකය ඔහු විසින්ම තමා තුළ දනවා ගෙන කටයුතු කල යුතුය.

නැතහොත් ඔහුට සිදුවන්නේ රටේ ජනතාවගෙන් වචනාර්ථයෙන්ම මඩුවලිගෙන් තැලුම් කා සිය ධූරය වෙනකෙකුට භාර දී තමාට ගැලපෙන ගමරාළ කෙනෙකුගේ හෝ ග්‍රාමසේවක කෙනෙකුගේ හෝ රාජකාරියක් භාර ගැනීමටය.

9 responses to “සිරිසේනට මඩුවලිගෙන් තැලීම

  1. එ් කියන්නෙ කසේ කතාව පිටරට මිනිස්සු serious ගැනීම ලංකාව ගැන අරාබිය වගේ image එකක් අැතිවෙන්න හේතුවක්!

    මම දන්න විදියට මඩු වලිගෙ තියන වැදගත් ලක්ෂණයක් තමා එ්කෙං පාර වැදිච්ච තැන කබර දාන එක 🙂

    Liked by 1 person

    • පැහැදිළිවම ඔව්. හේතුවක් නැතිව ලෝකය ඉදිරියේ රටේ නම කැත කරන්න අවශ්‍ය නෑ.

      මඩුවලිගයෙන් ගැහීම ගැනනම් එච්චරම දැනුමක් නෑ. අහලා තියෙන විදියට නම් කතාව, මඩුවා කියලා මාළුවෙක් සිටින බවත්, උගේ වලිගයෙන් තැලීම දැඩි වේදනාවක් ගෙන දෙන්නක් බවත්. 🙂

      Like

    • මටත් ඒ ගැන පැහැදිළි දැනීමක් නැහැ. මම මගේ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත් විදියට මඩුවා කියන මාළුවාගේ වලිගය ගැනලු ඔය කියන්නේ. ඒ වලිගයෙන් ගැහැව්වාම විෂයිලු. ඇත්ත නැත්ත තහවුරු කරන්න නම් දැනට විදියක් නෑ. වැඩිදුර තොරතුරු ලැබුනොත් බෙදා ගන්නම්. 🙂

      Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට