සුජී, ඔය ෆෝන් එක දීපං ළමයෙකුට

ලෙනී බෲස් “Fuck” කිව්වා කියා හිරේ ගියේ 1961 දීය. මීට මාස කීපයකට කලින් Saturday Night Live වැඩසටහනේදී ලුවිස් සී.කේ ළමා අපචාර ගැන කල විහිලුවක් නිසා ජාත්‍යන්තර මාධ්‍යන්ගේ දැඩි විවේචනයට ලක් විය.

ඉස්ලාම් ආගමික නායකයාගේ රුව උපහාසාත්මකව ඇඳීම නිසා කීපවරක්ම ත්‍රස්ත පහාර වලට ලක් වූ charlie hebdo සඟරාව අවසාන වතාවට පහර දීමට ලක් වූයේ මෙම වසරේ ජනවාරි 7 වෙනිදාය. එහිදී පුවත්පතේ රැකියාවේ නියුතුව සිටි මිනිසුන් 12 දෙනෙක් ඝාතනයට ලක් විය.

1420684337050

විහිලු වරදක් නැත. මා මුල සිටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් විහිලු කරන කෙනාගේ අයිතිය වෙනුවෙනි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙනි !

“සුජී, ඔය ෆෝන් එක දීපං ළමයෙකුට”

මැදපෙරදිග රැකියාවේ නියුතු කාන්තාවක් දුරකථනයකින් සිය බේබදු සැමියා සමඟ පොරබදන ඒ වදන් පෙළ මා කණ වැකුනේ මීට මාස කිහිපයකට පෙර විය යුතුය.

හද සසළ කරවන සිද්ධියක් වුවත් බොහෝ දෙනෙකුට එම දර්ශන පෙළ ලබා දී තිබුනේ හාස්‍ය රසයකි. එයට හේතුව ඒ කාන්තාවගේ හඬේ ස්වරයද, නැත්නම් කාන්තාව භාවිතා කරන වචනද, එසේත් නැතිනම් කාන්තාව කියනා දේවල් ද කියා මම නොදනිමි.

ඒ මීට මාස කීපයකට පෙර තත්වයය.

අද, ඒ කාන්තාවගේ වචන පෙළ ලංකාවේ තරුණ තරුණියන්ගේ විහිලුවට ලක් වෙලාය. නව ඇසකින් ලෝකය දකිනවා යැයි ඔවුන්ම කියාගන්නා සයිබරයේ සහ බ්ලොග් ලොවේ තරුණ තරුණියන්ට ඒ අසරණියගේ වදන් පෙළ catch phrase එකක් වෙලාය.

ලෙනී බෲස් ට “Fuck” කීමේ අයිතිය වෙනුවෙන්ද, ලුවිස් සී.කේ ගේ ළමාඅපචාර විහිලු සම්බන්ධයෙන්ද, charlie hebdo සඟරාවට ආගමික නායකයින්ව උපහාසයට ලක් කිරීමේ අයිතිය වෙනුවෙන්ද පෙනී සිටියා සේම, ඒ අසරණ ගෘහ සේවිකාව අන්ත අසරණ තත්වයට වැටී සිටි මොහොතේ ඇගේ මුවින් නික්මුණ ඒ වදන් පෙළ කිංඩියට ලක් කිරීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන්ද පෙනී සිටිමි.

නමුත්,

අනෙකුන්ගේ දුක හඳුනා ගැනීමට උත්සාහ දරණා මනුෂ්‍යයෙකු වශයෙන් ඒ අසරණියගේ දුක් අඳෝනාව ආතල් ගැනීමට මාර්ගයක් කරගත් ඔබගේ ඒ සොමි ‘ජෝක්’ එකට විරෝධය දැක්වීමට මෙම කෙටි සටහන තබමි.

ඇයගේ කඳුළු වදන් තුළින් යම් රසයක් සොයා ගත් ඔබට ඒ කඳුළු රස විඳීමේ අයිතිය ලබා දෙන ගමන් ඔබේ ඒ ක්‍රියාව පිළිකුලෙන් බැහැර කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.

අවසාන වශයෙන් මේ වචන පොද ඔබ හමුවේ තබමි.

විසිඑක්වන සියවසේ තාක්ෂණය සහ සන්නිවේදනය අතින් අප එකිනෙකා කොයිතරම් ළං වෙලා යැයි අප සිතුවත් මානුෂීය හැඟීම් අතින් අප එකිනෙකාගෙන් කොයි තරම් ඈත් වෙලාද? එක ගොඩේ ජීවත් වුනාට අනෙකාගේ හැඟීම් නොදැනෙන්න තරම් අපගේ සහකම්පනය(empathy) ක්ෂය වෙලාද?

“කාලකණ්ණි දූපත් ජීවිත…
ඉපදෙනවා විතරයි. ඊට පස්සෙ කුණු වෙනවා…
මිනිස්සු ළඟ වැඩියි
ඒ හින්දම එකෙකුට අනිත් එකාව දැනෙන් නෑ.”

අනෙකාගේ දුක නොදැනෙන මිනිසුන් තුළ ඇති හිස්කම පිරවීමට කුමන ආගමටවත් කුමන විද්‍යාවටවත් කුමන දර්ශනයටවත් නොහැක.

මිනිස්කම මිය යන තැන එතනය.

 

ප/ලි – “කාලකණ්ණි දූපත් ජීවිත” උපුටා ගත්තේ උදය සහ චින්තන ධර්මදාසගේ How I Wonder What You Are චිත්‍රපටයෙනි

 

 

One response to “සුජී, ඔය ෆෝන් එක දීපං ළමයෙකුට

  1. Pingback: 2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් – කාලීන සංවාද | Nelum Yaya·

ප්‍රතිචාරයක් ලබා දීමට